අන්තර්ජාල ගනුදෙනුවල දී පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරනවා යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

සාධාරණ වෙළෙඳපොළක් බිහිකරමු යනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහභාගිත්වයෙන් කොළඹ දී 15 වැනිදා පැවති වැඩමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය. ජගත් පාරිභෝගික දිනය වෙනුවෙන් යුරෝපා සංගමයේ අනුග්‍රහයෙන් සමුළුව පැවැත්විණි.

පසුගිය වසරේ ලෝකයේ විද්‍යුත් වාණිජ වෙළෙඳ ගනුදෙනු ඇමෙරිකා ඩොලර් ටි්‍රලියන 2.29ක් දක්වා ඉහළ ගිහින්. එමෙන්ම ෆෙස්බුක් වෙළෙඳ ගනුදෙනු 38% කින් ඉහළ ගිහින්. සමාජ මාධ්‍ය ජාල භාවිත කරන ශ්‍රී ලාංකිකයන් පිරිස 25% කින් ඉහළ යාම ද සැලකිය යුතු තත්ත්වයක්. ඔන්ලයින් ඔස්සේ සිදුකරන ගනුදෙනුවල ද 5%ක ඉහළ යාමක් වාර්තා වනවා. නැගෙනහිර, දකුණ හා ගිනිකොණදිග ආසියාවේ විද්‍යුත් වාණිජ භාවිත කරන රටවලින් ශ්‍රී ලංකාව පළමු රටවල් 10 අතරට පැමිණ තිබෙනවා. වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශයට පත්කෙරුණු විද්‍යුත් වාණිජ වාර්තාව ඒ බව සනාථ කරනවා. මෙරට සමස්ත වාර්ෂික වෙළෙඳපොළ ගනුදෙනුවලින් සියයට එකක් පමණ විද්‍යුත් වාණිජ භාවිත කරමින් සිදුවනවා. එහි වටිනාකම රුපියල් මිලියන තුන්දහසක් පමණ වනවා. අන්තර්ජාල ගනුදෙනුවල දී පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුයි. ඩිජිටල් වෙළෙඳපොළ පාරිභෝගිකයා වෙනුවෙන් සාධාරණ ලෙස පවත්වාගෙන යාමට හැකි සෑම පියවරක්ම ගන්නවා යැයි ද අමාත්‍යවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *