අපට තියෙන්නේ ලෝකය සමඟ තරගයක්. ලංකාව ඇතුළේ නෙවෙයි අපිට තරගය තියෙන්නේ. අද ලෝකයේ විවිධ නව සොයා ගැනීම් කරනවා. ලෝකයේ තාක්‍ෂණය දියුණු වෙමින් පවතිනවා. අපි ශ්‍රී ලාංකිකයන් විදියට ඒ සඳහා දැනුමෙන් පරිපූර්ණවු තරුණ තරුණියන් පිරිසක් නිර්මාණය කළ යුතු යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා එසේ පැවසූවේ ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරූ ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති වෘත්තීය පුහුණු අධිකාරියට අයත් පුහුණු ආයතනවල පාඨමාලා සාර්ථකව අවසන් කළ පුහුණු ලාභීන් 625 දෙනෙකු සඳහා ඩිප්ලෝමා සහතික ප්‍රධානය කිරීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 22දා පැවැති උත්සවයේදීය.

අමාත්‍යවරයා මෙසේ ද කීවේය. විශ්වවිද්‍යාල සඳහා වසරකට 30,000 ක් පමණ පිරිසක් ඇතුළු වෙනවා. වෘත්තීය පුහුණුව සඳහා ලක්ෂයක පමණ පිරිසක් ඇතුළත් වෙනවා. තවත් ලක්ෂයකට අධික පිරිසක් කිසිවක් නැතුව සිටිනවා.  මීට කලින් වෘත්තීය පුහුණුව සඳහා ඇතුල්වීමට මුදල් අය කළත් අපගේ රජය වෘත්තීය පුහුණුව නොමිලයේ ලබා දෙන්න තීරණය කළා. හැම එකම නිකන් ලැබෙන කොට ඒවයෙ වටිනාකමක් දැනෙන්නෙ නෑ.  අද අපගේ රජය වෘත්තීය පුහුණුව සඳහා සැලකිය යුතු මුදලක් වෙන් කරලා තියනවා. එසේම අද වෙන තුරු මෙම අමාත්‍යාංශයේ හිටිය මැති ඇමතිවරු ඒ අයට හැකි පමණින් මහන්සිවෙලා වැඩ කරලා තියනවා. අපට තරඟය තියෙන්නේ ලෝකය සමගයි. ශ්‍රී ලංකාව ඇතුළේ මාතරටයි, ගාල්ලටයි, හම්බන්තොටයි , මන්නාරමයි  අතර තියන තරගයක් නෙවෙයි.  ලෝකය සමග තරඟ කරමින් ඉදිරියට යා යුතුයි.

අපි හිතන්න ඕන මම බෞද්ධ, මම හින්දු, මම කතෝලික, මම අම්පාර කියලා නෙවෙයි. අපි හිතන්න ඕන ශ්‍රී ලාංකිකයො හැටියට. අපි මේ රට දියුණු කරන්න ඕන” යි පැමිණ සිටින්නන් අමතමින් කීවේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති නීතීඥ රවී ජයවර්ධන, අමාත්‍යාංශ හා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *