ආසියානු පැසිෆික් වෙළෙඳ ගිවිසුමේ හතරවැනි සැසිවාරය මෙවර තායිලන්තයේ බැංකොක් නගරයේ දී සාර්ථකව අවසන්විය. මෙම සමුළුවේ ශ්‍රී ලංකා නියෝජිත මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලද්දේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා විසිනි.

ආසියානු පැසිපික් වෙළෙඳ ගිවිසුමේ මීළඟ සැසිවාරය 2019 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතය.

තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ෂෙනුක සෙනෙවිරත්න මහතා, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සොනාලි විජේරත්න මහත්මිය සහ වාණිජ මණ්ඩලයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරී නිලධාරිනියන් පිරිසක් මේ නියෝජිත මණ්ඩලටය ඇතුලත් වූහ.

1975 වර්ෂයේ දී රටවල් කිහිපයක් අතර වෙළඳාම වර්ධනය කිරීම සඳහා මුල් වරට අත්සන් තබන ලද මෙම ගිවිසුම ‘‘ආසියානු පැසිෆික් වෙළෙඳ ගිවිසුම“ ලෙස නම්කරන ලද්දේ 2006 වර්ෂයේ දී ය. ඒ වන විට මේ ගිවිසුමට අත්සන් තබන ලද රටවල් ගණන වැඩිවී තිබිණි.

මෙහි සාමාජික රටවල වාණිජ අමාත්‍යවරු මෙවර සමුළුවේ මුල් කෙටුම්පතට අත්සන් තබා ඇති අතර එය 2017 ජූලි මස 01 දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

අභ්‍යන්තර කලාපීය වෙළෙඳ ගිවිසුමට අනුව තීරු බදු සහන 32% සිට 34% දක්වා වැඩිකිරීමට නියමිතයි. තව දුරටත් තෙවැනි වටයේ දී තීරු බදු සහනයක් යටතේ භාණ්ඩ 4270 සිට 10,677 දක්වා ඉහළ දැමීමට එකඟතාව පලකරන ලදී.

මෙම සමුළුවේ දී අදහස් දැක්වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා කියා සිටියේ වෙළෙඳ හා සේවා ලිහිල්කරණය, ආයෝජනය හා වෙළෙඳ පහසුකම් යන ක්ෂේත්‍රයන් පුළුල් කිරීම සඳහා විධිමත් සැළැස්මක් රටේ ක්‍රියාත්මක කරණ බවයි.

මෙම වෙළෙඳ ගිවිසුම් සමඟ ව්‍යාපාරිකයන්ට හා ආයෝජකයන්ට ඇති බාධා ඉවත් කිරීමට හා ඒවා ලිහිල් කිරීමට කටයුතු කරන බව ද බදුයිදීන් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

17JAN1A-672x372

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *