ආහාර අංශයේ නිෂ්පාදන හා ඇසුරුම්කරණයේ යෙදෙන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන්, ඔවුන්ගේ දියුණුව සඳහා කර්මාන්ත අමාත්‍යාංශය රුපියල් මිලියන 100 ක් (රු.කෝටි 10) වෙන් කර තිබේ.

 

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේ කාර්මික සංවර්ධන මණ්ඩලය රුපියල් මිලියන 140 ක් වැය කර ශ්‍රි ලංකාවේ සහතිකලත් ආහාර රසායනාගාරය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ආරම්භ කිරීමට සුදානමින් සිටින බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹ කිංස්බරි හෝටලයේ පැවති ” PRO FOOD PRO PACK ” සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

මෙම Pro food pro pack සම්මාන උළෙල සංවිධානය කර තිබුණේ ශ්‍රි ලංකා ආහාර සැකසුම් කරුවන්ගේ සංගමය විසිනි. මෙම සම්මාන උළෙලේදී ආහාර නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ හා ආහාර ඇසුම්කරණ ක්‍ෂේත්‍රයේ ව්‍යවසායකයින් සම්මානයට පාත්‍ර විය. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලට සමගාමීව 2018 අගෝස්තු මසදී, ආහාර සැකසුම් හා ඇසුරුම්කරණ ප්‍රදර්ශනයක්ද පැවැත්වේ. මෙම සම්මාන උළෙල හා ප්‍රදර්ශනය ප්‍රථමයෙන් ආරම්භ වූයේ 2011 වසරේදී ය. මෙම ආහාර නිෂ්පාදන හා ඇසුරුම්කරණ ක්‍ෂේත්‍රයේ නියැලෙන ව්‍යවසායකයින්ගෙන් බහුතරය කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ කියා සිටියේය “ආහාර සැකසුම් හා ඇසුරුම්කරණ ක්‍ෂේත්‍රයේ නියතු පිරිසගෙන් සියයට 40 කට වැඩි පිරිසක් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් වෙනවා. ඔවුන්ගේ ව්‍යාපාරික පිරිවැටුම රුපියල් මිලියන 100 කට (කෝටි 10 කට) වඩා වැඩි වෙනවා. ඒ වගේම ඔවුන් යටතේ වැඩ කරන සෘජු හා වක්‍ර රැකියාලාභීන්ගේ සංඛ්‍යාව මිලියන 1.5 ක් පමණ වෙනවා. එම නිසා මෙම ක්‍ෂේත්‍රය අප රටේ ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය කුඩා හා මධ්‍යම පරිමාණ ආහාර සැකසුම් ව්‍යාපාරිකයින් වෙනුවෙන් ආරම්භ කරන සහතිකලත් ආහාර රසායනාගාරය ශ්‍රි ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල ආහාර නිෂ්පාදන පරීක්‍ෂා කරන ප්‍රථම රසායනාගාරය වෙනවා.ඒ සඳහා කර්මාන්ත සංවර්ධන නිලධාරීන් දිස්ත්‍රික්ක මට්ටමින් සේවයේ යෙදවීමට බලාපොරොත්තු වෙනවා. එසේම මෙම රසායනාගාරය මඟින් දේශීය හා විදේශීය වශයෙන් ආහාර ප්‍රමිතිය, ශ්‍රි ලංකාවේ ප්‍රමිති ආයතනය හා ISO ජාත්‍යන්තර ප්‍රමිතියේ මට්ටමින් පරීක්‍ෂා කෙරෙනවා. මේ මඟින් අපේ ආහාර අංශය ඉහළම මට්ටමින් සංවර්ධනය කිරීමටත්, එමඟින් ලැබෙන අපනයන ආදායම වැඩි කර ගැනීමටත් අපේක්‍ෂා කෙරෙනවා.

අපි ” කර්මාන්ත ඵලදායීතාව, වෙළෙඳපොළ තරඟකාරීත්වය සහ තිරසාර සංවර්ධන වැඩ සටහන් ” දිගටම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහන යටතේ මේ වන විට සමාගම් 100 ක් පමණ ප්‍රතිලාභ ලබා තිබෙනවා. එනම්, ” යහපත් නිෂ්පාදන පුරුදු (රීති) ” සහ ISO 14000 සහතික මෙම වැඩසටහන යටතේ ලබා දී තිබෙනවා.

ඒ වගේම අපි ආහාර සැකසුම් තාක්‍ෂණය දියුණු කිරීම මඟින් කුඩා පරිමාණ ආහාර නිෂ්පාදකයින් සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති දිගටම ක්‍රියාත්මක කරගෙන යනවා. අපි මෙම ව්‍යාපෘති දීප ව්‍යාප්තව රට පුරාම පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. එමඟින් ඇසුරුම් ක්‍ෂේත්‍රයේ සිටින ක්‍ෂුද්‍ර ආහාර නිෂ්පාදකයින් දිරි ගැන්වීමට බලාපොරොත්තු වෙනවා. මේ මඟින් අපි ඉලක්ක කරන්නේ මෙම ක්‍ෂේත්‍රයත් අපගේ අපනයන අංශයට එකතු කිරීමටයි.” යැයි පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා ආහාර සැකසුම් සංගමයේ සභාපති මලික්ද අල්විස්, ලේකම් තුසිත් විජේසිංහ මහත්වරුන්ද සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *