ඉන්දියාවේ විශාලතම ගෑස් නිෂ්පාදන සමාගම වන පෙට්ට්‍රෝනෙට් සමාගම ශ්‍රී ලංකාවේ නල මාර්ගයෙන් ගෑස් සැපයීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ. නල මාර්ගයෙන් ගෑස් සපයන ශ්‍රී ලංකාවේ පළමු පරිසර හිතකාමී ව්‍යාපෘතිය මෙය වනු ඇත.
එකී ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිළිබඳ මූලික වටයේ සාකච්ඡාවක් 01දා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ පෙට්ට්‍රෝනෙට් සමාගමේ නියෝජ්‍ය කළමණාකරු මනික් ජාම්බේ මහතා: ශ්‍රී ලංකාවේ ඉවුම් පිහුම් සඳහා ගෘහස්ථව භාවිතා කරන ගෑස්, නල මාර්ගයෙන් නිවසටම සැපයීමේ ක්‍රමවේදයක් පෙට්ට්‍රෝනෙට් සමාගම විසින් ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා. මෙය දැනට භාවිතා කරන ගෑස් සිලින්ඩර්වල ට විකල්පයක් යැයි කීය.
අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා : මේ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් දේශීය ගෑස් වෙළෙඳපොලේ සීඝ්‍ර සංවර්ධනයක් අපේක්ෂා කරන්න පුළුවන්. එමගින් ගෑස් වෙළෙඳ පොළ ශක්තිමත් කළ හැකියි. දැනට භාවිතා කරන ගෑස් සිලින්ඩර් එකක් අවසන් වූ පසු තවත් ගෑස් සිලින්ඩරයක් ලබා ගැනීමට සිදුවෙනවා. නල මාර්ගයෙන් ගෑස් බෙදා හැරීමෙන් නිවාසවල ඉවුම් පිහුම් කටයුතු පහසු කර ගත හැකි යැයි කීය.
මෙයට අමතරව රථවාහන, ආහාර, ඖෂධ, තීන්ත, රසායන ද්‍රව්‍ය, සිමෙන්ති ගෘහ භාණ්ඩ සත්ත්ව ආහාර, වැනි ක්‍ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ද ඉන්දියානු ආයෝජකයින් පිරිස අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා සමග සාකච්ඡා කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *