ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ සිදුකෙරෙන ද්වීපාර්ශ්වීය භාණ්ඩ හුවමාරුවට අමතරව ආයෝජන හා සේවා අංශ වෙතද අවධානය යොමුකළ යුතු බවත්, දෙරට අතර පවතින වෙළඳ සබඳතා ශක්තිමක් කිරීමට ඉන්දීය වාණිජ ලේකම් ප්‍රමුඛ ඉහළ පෙළේ නිල දූත පිරිසක් නුදුරේදීම මෙරටට පැමිණීමට නියමිත බවත්, ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්, අරින්දම් භක්චි මහතා පැවසීය.
නියෝජ්‍ය මහකොමසාරිස්වරයා මේ බැව් පැවසුවේ, ඉන්දු ශ්‍රි ලංකා වෙළඳ සබඳතා ශක්තිමක් කිරීමේ අරමුණින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා සමඟ පැවති සාකච්ඡාවක් අතරවාරයේදීය. මෙම හමුව පසුගිය (27) දා, කොළඔ 02, නවම් මාවතේ පිහිටි, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී සිදුකෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අරින්දම් භක්චි මහතා, “කාලාන්තරයක් මුළුල්ලේ පවතින ඉන්දු ලංකා සබඳතා ඓතිහාසික එකක් පමණක් නොව විවිධ පැතිකඩ වලින්ද සමන්විත වෙනවා. ශ්‍රී ලංකාව තුළ සිදුව ඇති නව පරිවර්ථන වලින් අප දෙරට අතර තිබූ සබඳතා තවදුරටත් ශක්තිමත් වී නව සංදිස්ථානයකට පැමිණ තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙළඳපොළ ප්‍රතිපත්ති මත පදනම් වූ ආර්ථිකය තව තවත් ශක්තිමත් කිරීමට ගෙන ඇති තීරණය අප අගය කරනවා. ද්වීපාර්ශ්වික වෙළඳාම ශක්තිමත් කිරීමට මෑත කාලයේදී අප දෙරටේ නියෝජිතයන් විසින් සාකච්ඡා වට 13 ක් පමණ පවත්වා ඇති අතර, එමගින් ඉන්දු ලංකා අපනයන සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබෙනවා. අපගේ අන්‍යෝන්‍ය වෙළඳ  සබඳතාවයන් භාණ්ඩ ආනයනයට හා අපනයනයට අමතරව ආයෝජන හා සේවා අංශ සඳහාද පුළුල් කිරීමට දැන් කාලය පැමිණ තිබෙනවා.”
 Indian hi-commis 01
ඊට පිළිතුරු දුන් අමාත්‍ය, බදියුදීන් මහතා කියා සිටියේ, ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ඉතා හොඳින් ක්‍රියාත්මක වීම තම සතුටට කරුණක් බවයි. එමෙන්ම එහි ශක්‍යතාවය කොතරම්ද යත්, ඉන්දියාව මේ වන විට ශ්‍රී ලංකාවට භාණ්ඩ සපයන රටවල් අතුරින් ප්‍රමුඛ ස්ථානයට පැමිණ ඇතැයිද ඒ මහතා පැවසීය. විවිධ අංශ ගණනාවක් ඔස්සේ පවත්නා දෙරට අතර වාණිජ සබඳතා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ තර කර ගැනීමට හැකිවනු ඇති බවද බදියුදීන් මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ආර්ථික ප්‍රතිපත්ති ඒ අයුරින්ම පවත්වාගෙන යාමට වත්මන් රජයේ අපේක්ෂාව බැව් සඳහන් කළ අමාත්‍යවරයා, මෛත්‍රී පාලනය තුළ ඒවා තවදුරටත් ශක්තිමක්ව ක්‍රියාත්මක වනු ඇතැයි විශ්වාසය පළකළේය.
අමාත්‍යවරයාට පිළිතුරු දුන් නියෝජ්‍ය මහකොමසාරිස්වරයා පැවසුවේ, නව දේශපාලන ආරම්භයක් පවතින මෙම අවස්ථාවේ දෙරට අතර පවත්නා වෙළඳ සබඳතා ශක්තිමක් කිරීමේ අරමුණින් ඉන්දීය වාණිජ ලේකම්වරයා ප්‍රමුඛ ඉහළ පෙළේ දූත පිරිසක් නුදුරු අනාගතයේදී මෙරට සංචාරයක නිරත වනු ඇති බවයි.
2013 වසර සැලකීමේදී ඇමරිකානු ඩොලර් බිලියන 3.63 ක වෙළඳ අගයක් වාර්තාකිරීමට ඉන්දු ලංකා ද්වීපාර්ශ්වීය වෙළඳාම ශක්තිමත්ව පැවතිණි. එම වසරේ ඩො.මි.543 ක භාණ්ඩ ඉන්දියාවට අපනයනය කිරීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර, ඉන් 60% ක ප්‍රමාණයක්, දෙරට අතර පවත්නා නිදහස් වෙළඳ ගිවිසුමට අනුගතව සිදුවි තිබිණි. තවද, ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක වූ වර්ෂ 2000 සිට, 2013 වසර දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකාව ඉන්දියාව ඉලක්ක කර සිදුකළ අපනයන මෙහෙයුම් අට (08) ගුණයකින් වර්ධනය වීම සතුටුදායක තත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *