පසුගිය යුද සමයේදී එල්ටීටීඊ සාමාජිකයන් සතුව තිබී පසුව අතුරුදන් වූ බව කියන අවි ආයුධවලින් කොටසක් රජයේ කැබිනට් අමාත්‍යවරයකු වන තමා සතුව ඇති බව පවසමින් පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන් යැයි කියන පිරිසක් විසින් මාධ්‍යයට කළ පදනම් විරහිත ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා එහි සත්‍ය අසත්‍යතාව රටට හෙළි කරන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබේ.

මෙම ප්‍රකාශය පෞද්ගලිකව ඉදිරිපත් කොට ඇති චෝදනාවක් බවත් මෙම ප්‍රකාශය මඟින් මුස්ලිම් ජනතාව කෙරෙහි සැකයක් ඇති කරලීමට උත්සාහ දරා ඇති බවත් අමාත්‍යවරයා එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන්ය. පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් බව කියන කණ්ඩායමක් විසින් පසුගිය අගෝස්තු දහ අට (18දා) වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබුණේ පසුගිය යුද සමයේ ඔවුන් විසින් භාවිත කළ අවි ආයුධ පන්දහසක් (5000) පමණ අතුරුදන් වී ඇති බවත් ඒවා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා තවත් රාජ්‍ය අමාත්‍යවරයකු සතුව ඇති බවත්ය.

මේ වන විට මෙම අසත්‍ය පුවත යොදාගනිමින් ඇතැම් අවස්ථාවාදී දේශපාලකයන් විසින් තැන් තැන්වල මේ පිළිබඳ මාධ්‍ය හමු පවත්වමින් රඟ දැක්වීම සිදුකරන අතර රටේ බොහෝ මාධ්‍ය මෙම අවස්ථාවාදීන්ගේ ප්‍රකාශ ප්‍රචාරය නොකිරීම පිළිබඳව මම එම මාධ්‍ය ආයතනවලට සිය කෘතඥතාව පළ කරමි. වර්තමාන යහපාලන ආණ්ඩුව යටතේ සිංහල දෙමළ, මුස්ලිම් ජනතාව සහයෝගයෙන් සිටිනවා.

මෙම ප්‍රකාශය පෞද්ගලිකව තමා වෙත ඉදිරිපත් වූ චෝදනාවක් වුවද මේ තුළින් මෙරට ජීවත්වන මුස්ලිම් ජනතාව දෙස සහෝදර සිංහල ජනතාවට සැකය, වෛරය ඇති කරවා ඒ තුළින් ජාතිවාදය රට තුළ ඇති කිරීමේ අවස්ථාවක් ගොඩනැඟිය හැකිය.

එබැවින් එම තත්ත්වය වහා නතර කිරීමට මොවුන්ගේ මෙම ප්‍රකාශය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් හා රජයෙන් ඉල්ලා සිටී. මෙම හදිසි පුවත් සාකච්ඡාව හදිසියේම පැවැත්වීම ඉතා සැක සහිතය. මෙම සිදුවීම් ජාලය පිටුපස අදිසි හස්තයක් ඇතැයිද සැක සිතේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *