ජාත්‍යන්තර වෙ‍ළෙඳපොළේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ ගියද රටේ ජනතාවට බර පටවමින් ගෑස් මිල වැඩි කිරීමට ඉඩදිය නොහැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (18) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී ලිට්රෝ ගෑස් සමාගමේ නිලධාරීන් හා පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් හමුවී කරන ලද සාකච්ඡාවේදීය.

මෙහිදී ගෑස් සැපයුම්කරුවන් සඳහන් කර සිටියේ දැනට ක්‍රියාත්මක ගෑස් මිල ක්‍රමවේදය පිළිබඳව තමන් එකඟ වන බවයි. නමුත් ගෑස් මිලට බලපාන එක් සාධකයක් වන ප්‍රවාහන වියදම තමන්ට ගැටලුවක් බවත්, අඛණ්ඩව ඩීසල් මිල වැඩි වීම ඉහත සඳහන් ගෑස් මිල ක්‍රමවේදයට ගැටලුවක් වී ඇති බවත් ඔවුන් සඳහන් කළේය.

එම නිසා ගෑස් මිල තීරණ ක්‍රමවේදයට, ගෑස් ප්‍රවාහනය ආශ්‍රිත වියදම්ද ඇතුළත් කර ගාස්තු තීරණයක් ලබා දෙන මෙන් ගෑස් සැපයුම්කරුවන් ඉල්ලා සිටිනු ලැබීය.

දැනට ලංකාවේ පවතින ගෑස් සැපයුම්කාර සමාගම් දෙක පාරිභෝගික කටයුතු අධිකාරිය නියම කරන ලද මිල ක්‍රමවේදය අනුගමනය කරන බවත්, එම මිල ඉක්මවා අලෙවි නොකරන බවටත් එකඟතාවයකින් බැඳී සිටී. එම නිසා ගෑස් මිලේ වෙනසක් කිරීමට පෙර පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසර ලබා ගත යුතුය.

පසුගිය සැප්. 27 දා ගෑස් මිල නියාමනය කිරීම මගින් ගෑස් සඳහා උපරිම සිල්ලර මිලක් ලබා දී තිබේ. එයට ප්‍රවාහන වියදම්ද ගලපා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට බලපැවත්වන පරිදි මිල දර්ශනයක් ලබා දී තිබේ. මෙයට ප්‍රවාහන වියදම්ද ඇතුළත් කරමින් නියාමනය කර තිබේ.

මේ නිසා නැවතත් ගෑස් මිල වැඩි කිරීමෙන් පාරිභෝගිත ජනතාවට අසාධාරණයක් වන බවත්, එම නිසා ගෑස් මිල වැඩි කිරමට ඉඩ දිය නොහැකි බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවධාරණය කරන ලදි.

නමුත් ගෑස් සැපයුම්කරුවන්ගේ ගෑස් ප්‍රවාහන වියදම් තුලනය කිරීම ආශ්‍රිත ඉල්ලීම ජීවන වියදම් කමිටුවට හා මුදල් අමාත්‍යාංශයට යොමු කිරීමට පියවර ගන්නා බවත්, එසේම මෙම යෝජනාව ගැන පාරිභෝගික කටයුතු අධිකාරිය අවධානය යොමු කර හා විශ්ලේෂණය කර මෙම ගැටලුවට සාධාරණ විසඳුමක් ලබා දෙන බවත් අමාත්‍යවරයා පවසයි.

මෙම සාකච්ඡවට ව්‍යවසාය සංවර්ධන හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන්කිරිඇල්ල, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් රංජිත් අසෝක, පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ෆවුසර් ෂෙරීෆ්ඩීන්, ලිට්රෝ ගෑස් සමාගමේ නිලධාරීන් හා ගෑස් සැපයුම්කරුවන්ද සහභාගී වූහ.

Image may contain: 2 people, people sittingImage may contain: 4 people, people smiling, people sitting and indoorImage may contain: 4 people, people sitting and indoor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *