ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම හා කැපවීම හේතුවෙන් උතුරු පළාත බොහෝ බලාපොරොත්තු සහිත ප්‍රදේශයක් බවට පත්ව ඇතැයි’ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
 ඒ මහතා මේ බැව් පැවසුවේ, 2015 ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත සයවන (06) යාපන අන්තර්ජාතික වෙළඳ ප්‍රදර්ශනය (Jaffna International Trade Fair – JITF) පිළිබඳ අදාල අංශ දැනුවත් කිරීම සඳහා පැවති උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිණි. මෙය කොළඔ තාජ් සමුද්‍රා හෝටලයේදී පසුගියදා පැවැත්විණි.
jitf 01
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, බදියුදීන් මහතා, 6 වැනි යාපන අන්තර්ජාතික වෙළඳ ප්‍රදර්ශනය එළිදැක්වීමේ උත්සවයේදී ඔබ සැම ඇමතීමට ලැබීම ගැන මම සංවිධායක මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. මෙම උත්සවය උතුරු පළාතේ පැවැත්වෙන අති විශාලතම වෙළඳ ප්‍රදර්ශනයක් බව ඉතා ප්‍රකටයි. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම හා කැපවීම මත උතුරු පළාත බොහෝ බලාපොරොත්තු සහිත ප්‍රදේශයක් බවට අද පත්ව තිබෙනවා.
 
නූතන ගෝලීය ක්‍රමය අනුව නිෂ්පාදන ක්ෂේත්‍රයේදී නව තාක්ෂණය යොදා නොගතහොත් කල් පවතින ආර්ථික හා සමාජයීය සංවර්ධනයක් අත්කර ගැනීමට නොහැකි යැයි මා විශ්වාස කරනවා. මෙහිදී ඉතාමත් වැදගත් වන්නේ ඒ සඳහා ප්‍රතිපාදන සොයා ගැනීමයි. එමනිසා මෙවැනි වැඩසටහන්, කරුණු දෙකක් මත ඉතා වැදගත් යැයි මා සිතනවා. ඉන් පළමුවැන්න, උතුරු පළාත මෑතකදී ඉහළම ප්‍රාදේශීය දළ ජාතික නිෂ්පාදනය වාර්තා කර තිබීමයි. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් කර්මාන්ත හා සේවා යන අංශ වලින්ද, බැංකු හා ඉතිරි කිරීම් යන අංශ වලින්ද පිටුවහලක් ලැබී තිබෙනු දක්නට තිබෙනවා. එවැනි වර්ධන වේගයක් අත්කර ගැනීමට මෙවැනි ප්‍රදර්ශන තුළින් දිරිගැන්වීමක් හා රුකුලක් ලැබෙනවා.
 
දෙවනුව එම පළාතේ ප්‍රජාව තුළ දිවයිනේ සෙසු පළාත් වල ජනතාවන්ට වඩා වැඩි වැඩියෙන් මුදල් අත ගැවසීමයි. මෙයට හේතුව වන්නේ, මෙම පළාතේ වෙසෙන පවුල් වල යටත් පිරිසෙන් එක් සාමාජිකයෙකු හෝ විදේශ රටවල රැකියාවන්හි නිරතව සිටීමයි. ඔවුන්ගේ වටිනා විදේශ විනිමය මෙරටට එවිය හැකි තත්වයක් තිබෙනවා. ප්‍රදේශයේ ජනතාවගේ පරිභෝජනයට මෙන්ම වෙළඳ ක්ෂේත්‍රයන්ට මෙම විදේශ විනිමය,  ඉමහත් ලෙස උපකාරී වෙනවා. මෙමගින් අප වටහා ගත යුත්තේ මෙය පළාතේ පුද්ගලික ආයෝජන හා ප්‍රාග්ධනය සඳහා වූ වටිනා මූලාශ්‍රයක් බවයි. උතුරේ ආයෝජනයන් සඳහා මෙම ප්‍රාග්ධනය යෙදවීමට ඔවුන් උනන්දු කරවීමට හැකිනම් එමගින් සෘජු විදේශ ආයෝජන අවශ්‍ය නොවනු ඇති.
 jitf 02
උතුරු පළාතේ මධ්‍යම ප්‍රමාණයේ සිට මහා පරිමාණයේ වාණිජ කෘෂි ගොවිතැන් සඳහාත්, මුහුදු ආහාර නිෂ්පාදන සඳහාත්, බොහෝ අවස්ථාවන් තිබෙනවා. මා පෙර සඳහන් කළ, මෙවැනි පෞද්ගලික සෘජු විදේශ ආයෝජන මෙම කර්මාන්තයන්හි ඉතා පහසුවෙන් යෙදවිය හැකියි. එයට හේතුව වන්නේ මෙම ජනතාව මෙවැනි ව්‍යාපෘති වල යෙදී ඉන් පළපුරුද්දක් ලබා ඇති නිසායි.
 
මීට අතිරේකව බැංකු, මූල්‍ය හා රක්ෂණ ක්ෂේත්‍රයන් වල ආයෝජනය කිරීමටද ඔවුන්ට හැකියාව තිබෙනවා. එමනිසා යාපන අන්තර්ජාතික වෙළඳ ප්‍රදර්ශනය (JITF)  තුළින් මේ සම්බන්ධව ප්‍රධාන කර්තව්‍යයක් ඉටුකළ යුතු වෙනවා. එනම්, පළාතේ සංවර්ධනය හා ආයෝජනය උදෙසා ඉදිරි පියවරක් තැබීමයි. මෙම JITF ප්‍රදර්ශන මාලාවෙන් එම කාර්යභාරය ඉටුවනු ඇති බවට මට කිසිම සැකයක් නැහැ.
 
මෙම ප්‍රදර්ශනය අතිශයින්ම සාර්ථක වේවායි පතමි.
උතුරු පළාත් ආණ්ඩුකාර, මේජර් ජෙනරාල්, ජී.ඒ.චන්ද්‍රසිරි, සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, වී.සිවඥානසෝති යන මහත්වරුද කතා කළ අතර, කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, හා ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
 jaffna-221212

Leave a Reply

Your email address will not be published. Required fields are marked *