ජනාධිපති අපේක්ෂක ගරු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මුස්ලිම් ජනතාවගේ පූර්ණ සහය ලබාදෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා පවසයි.

ජනාධිපති අ⁣පේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන්, එතුමාගේ ප්‍රධානත්වයෙන්, මුස්ලිම් ජන නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ, රමාඩා හෝටලයේ 03වැනිදා සන්ධ්‍යාවේ පැවැති විශේෂ හමුවේදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

රට ජාතික වශයෙන් අසීරුවට ලක්වූ සෑම අවස්ථාවකම සිංහල ජාතික නායකයන් සමග එක්ව රටේ අභිවෘද්ධිය වෙනුවෙන් මුස්ලිම් ජන නායකයින් කටයුතු කළ බවත්, එයට ඉතිහාසය සාක්ෂි දරන බවත්, සෑම අවස්ථාවකම සිංහල ජාතිය සමග එක්ව රට වෙනුවෙන් පෙනී සිටින බවත් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සඳහන් කළේය.

ගරු අමාත්‍ය සජිත් ⁣ප්‍රේමදාස මැතිතුමාගේ පාලනයක් යටතේ රටේ ජාතික සමගිය, සහෝදරත්වය, සංහිඳියාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි බලාපො⁣රොත්තුවන බවද බදියුදීන් අමාත්‍යවරයා කීවේය.

මෙම අවස්ථාවට අමාත්‍යවරු වන රවුෆ් හකීම්, එම්එච්එම් හලීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්එම් ෆවුසි යන මහත්වරු, මුස්ලිම් මහජන නියෝජිතයන්, විද්වතුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *