ජාත්‍යන්තර සමුපකාර දිනය සෑම වසරකම ජූලි මස පළමුවන සෙනසුරාදා දිනයේදී සැමරේ. ඒ අනුව මෙවර ජාත්‍යන්තර සමූපකාර දිනය යෙදී ඇත්තේ 2018 ජූලි 07 වන සෙනසුරාදාය. මෙවර ජාත්‍යන්තර සමූපකාර දිනය ශ්‍රී ලංකාවේ සමරනු ලබන්නේ නැගෙනහිර පළාතේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ වේබර් ක්‍රීඩාංගණයේදී බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමත්‍යාංශය පවසයි.

ලෝකයේ සමූපකාර ව්‍යාපාරයට දිගු ඉතිහාසයක් පවතී. වර්ෂ 1844 දී සමූපකාර ව්‍යාපාරය විධිමත් අයුරින් ආරම්භ වන්නේ එංගලන්තයේ රොච්ඩේල් නගරය කෙන්ද්‍ර කරගෙන පිහිටවනු ලැබූ සාධාරණත්වයේ පුරෝගාමීන්ගේ සමාජය මඟිනි. මෙම සමූපකාර ව්‍යාපාරයේ පිතෘවරයා ලෙස සැලකෙන්නේ රොබට් ඕවන් මහතාය. වර්ෂ 1922 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර සමූපකාර දිනය නම් කළ අතර එතැන් පටන් වසරක් පාසා ජූලි මස පළමු සෙනසුරාදාට ජාත්‍යන්තර සමූපකාර දිනය යෙදී තිබේ. මෙවර පැවැත්වෙන්නේ 96 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනයයි. මෙවර තේමාව වන්නේ “තිරසාර භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ පරිභෝජනය” යන්නයි.

මඩකලපුව නගරයේ පැවැත්වෙන මෙවර ජාත්‍යන්තර සමූපකාර දින උළෙලට සමූපකාරිකයන් 10,000 ක් පමණ සහභාගිත්වයක් අපේක්ෂා කෙරේ.

මීට සමගාමීව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව 2018 ජූලි 01 දා සිට 07 දා දක්වා සමූපකාර සතියක් ද ප්‍රකාශයට පත් කර තිබේ. මේ සෑම දිනකම සමූපකාර සංවර්ධනයට අවශ්‍ය තේමාවක් ඔස්සේ සාකච්ඡා, දේශන දැනුම මිනුම් තරඟ ඇතුළු කතිකාවතක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ. එසේම පාසල් සිසුන් සඳහා ද සමූපකාරය ආශ්‍රිතව තරඟාවලියක් පැවැත්වෙන් අතර, ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උළෙලේදී ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග, සහතික හා සම්මාන පිරිනැමෙන බව සමූපකාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ජාත්‍යන්තර සමුපකාර දින සමුළුවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වේ. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වන අතර,කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, අමාත්‍යාංශ ලේකම් රංජිත් අසෝක, සමුපකාර සංවර්ධන කොමසාරිස් එස්.එල්.නසීර් මහත්වරු ඇතුළු නිලධාරීන්ද සහභාගී වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *