Skip to content
නවදිල්ලියේ වෙසෙන ශ්‍රී ලංකාව සම්බන්ධ ටියුනීසියානු තානාපති, තරෙක් අසූස් මහතා ඊයේ (05) පෙරවරුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා හමුවිය.
කොළඔ 02, නවම් මාවත, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ පිහිටි එම අමාත්‍ය කාර්යාලයේදී වූ අදාල හමුවේ මූලික අරමුණ, මෙම වසරේ ජුනි මස ටියුනීසියාවේ පැවත්වීමට නියමිත ජාත්‍යන්තර ආයෝජකයන්ගේ සංසදයේ සැසිවාරය සදහා ශ්‍රී ලංකාවට නිලවශයෙන් ඇරයුම් කිරීමයි.
ලොව ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් රැසක් සහභාගී වන මෙම සංසදයට ශ්‍රී ලංකාව ඇරයුම් ලබන ප්‍රථම අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.

තවද කර්මාන්ත හා වාණිජ ක්ෂේත්රයට අදාලව ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් වන තීන්දු හා තීරණ රැසකට එලැඹි මෙම හමුවේදී, ලොව ප්‍රකට ටියුනීසියානු ඔලිව් තෙල් ශ්‍රී ලංකාව හරහා දකුණු ආසියානු වෙළද පොළ වෙත යොමුකිරීමේ ශක්‍යතාවයක් තමාට පෙනෙන බැව් තරෙක් අසූස් මහතා පැවසීය.
ඊට පිළිතුරු වශයෙන් අමාත්‍ය බදියුදීන් මහතා පැවසුවේ, කලාපයේ සෙසු රටවල් සමග ශ්‍රී ලංකාව ඇතිකරගෙන සිටින නිදහස් වෙළද ගිවිසුම් හේතුවෙන් තීරු බදු රහිතව භාණ්ඩ 8000 ක් පමණ දැනට මෙරටින් අපනයනය කරන බවත්, එම වෙළද අවස්ථාවන් උපයෝගී කර ගනිමින් ටියුනීසියානු ඔලිව් තෙල් නිෂ්පාදකයන්ට සහ සෙසු ටියුනීසියානු කර්මාන්ත කරුවන්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කර වාසි හිමිකර ගන්නා ලෙසත්ය.
තවද ජුනි මස පැවැත්වෙන ජාත්‍යන්තර ආයෝජකයන්ගේ සංසදය සදහා ශක්තිමත් වෙළද සහ ආයෝජක දූත පිරිසක් ශ්‍රී ලංකාවෙන් යොමුකරන බවටද අමාත්‍ය බදියුදීන් මහතා තාතාපතිවරයාට දැන්වීය.