ත්‍රස්තවාදයෙන් බැට කෑ මම අන්තවාදයට හෝ ත්‍රස්තවාදයට සම්බන්ධ නැහැ. අන්තවාදයටත්, ත්‍රස්තවාදයටත් අප විරැද්ධ යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු රටේ උද්ගතවූ තත්ත්වය හමුවේ තමන්ට එල්වූ චෝදනා පිළිබඳව 10දා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ බව සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේ ද දැක්වේ. මම පසුගිය දිනෙක රාජකාරි කටයුත්තක් සඳහා ඕමානය බලා ගිය අවස්ථාවේ සමහර පුද්ගලයන් හා ජන මාධ්‍ය චෝදනා කළේ මම රටින් පැන ගිය බව යි. කිසිදු කරුණක් හරියාකාරව සොයා නොබලා, තොරතුරු සනාථ කරගැනීමෙන් තොරවයි ඔවුන් ඒ විදියට චෝදනා කළේ. ඇමැතිවරුන් කණ්ඩායමක් සමග අපි ඕමානයේ දී සාකච්ඡා කළේ ශ්‍රී ලංකාවට කෙරෙන රුපියල් බිලියන ගණනක ආයෝජනයක් ගැනයි.

මම ආපසු පැමිණීමෙන් පසු චෝදනාව කරපු අය ඒ ගැන කතා කිරීම දැන් නවතා දමා තිබේ.

ඊට අමතරව තවත් චෝදනා ගණනාවක් මා වෙත එල්ල කෙරිණි. කෙතරම් දරුණු ලෙස මේ චෝදනා කළා ද කිවහොත්, මාව ත්‍රස්තවාදී ගොඩට තල්ලූ කරන්න එතරම් උත්සාහ ගන්නේ ඇයි කියලා සමහර ජනමාධ්‍ය වලින් පෙරළා ප්‍රශ්න කරන්න මට සිදු විණි.

මට මේ නගන චෝදනාත් රටින් පැන ගියා කියා කළ චෝදනාවට සමානය. පදනමක් නැත. සනාථ කිරීමට කරුණු නැත.

මගේ ලේකම්වරයෙක් ඩෙටනේටර් සමග අත්අඩංගුවට අරන් නිදහස් කළ බවට ඔව්හු චෝදනා නගති. මේ සිද්ධියට සම්බන්ධ වූයේ මගේ ලේකම්වරයෙක් නොවේ. පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අපේ පක්‍ෂයෙන් ඡන්දය ඉල්ලූ කෙනෙකි. ඔහු අත්අඩංගුවට පත් වුණු බව සත්‍යයකි. නමුත් දින කීපයකට පසුව පසුව අධිකරණයේ දී සියළු කරුණු හෙළිදරව් විණි. අධිකරණය මගින් ඔහු නිදහස් කෙරිණි.

මගේ සහෝදරයා අත් අඩංගුවට ගෙන නිදහස් කළා යැයි පැවසීමත් සම්පූර්ණ බොරුවකි. ආරක්‍ෂක හමුදා සහ පොලීසිය එක්ව පසුගිය දිනෙක මන්නාරම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් කළහ. ඒ අවස්ථාවේ මගේ සහෝදරයා නැවතී සිටියේ සෝදිසි මෙහෙයුම කරන ප්‍රදේශය තුළ වූ සංචාරක බංගලාවක ය. ඒ බංගලාවත් සෝදිසි කළ අතර, මල්ලීගෙනුත් තොරතුරු විමසා තිබේ. එතැන නවතා තිබුණු වාහනත් පරීක්‍ෂා කෙරිණි. සිදුවුණේ එපමණ ය. අවශ්‍ය ඕනෑම කෙනෙකුට මන්නාරම පොලීසියෙන් විමසා සත්‍යය සොයා ගත හැකිය.

මට එල්ල කළ ඊළඟ චෝදනාව වන්නේ මගේ සහෝදරියකගේ නිවෙසක් ත්‍රස්තවාදීන්ට කුලියට ලබා දුන් බවයි. මගේ සහෝදරිය සහ ඇගේ ස්වාමියා දැනට වසර පහක පමණ කාලයක සිට වාසය කරන්නේ කැනඩාවේයි. ඇය විවාහ වූ තැනැත්තාගේ මහ ගෙදර එහි භාරකරුවා කුලියට දී තිබුණි. පසුගිය පෙබරවාරියේ කුලියට සිටි අය ඉවත් ව ගිය පසු වෙබ් අඩවියක දැන්වීමක් දමා ඒ නිවාසය වසරක කාලයකට කුලියට දී ඇත. මා එවැන්නක් දැන සිටියේවත් නැත. එය මට අයත් පුද්ගලික කාර්යයක් ද නොවේ. එවන් පසුබිමක මට චෝදනා නැගීම සාධාරණ ද කියා සිතා බැලීම ඔබට බාරය.

බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වන මොහාමඩ් ඊබ්‍රහිම් සමග මගේ සහෝදරයා ව්‍යාපාර කළ බවට කරන චෝදනාවත් සම්පූර්ණ අසත්‍යයකි. ඊබ්‍රහිම් සහ ඔහු ප්‍රධානත්වය දැරූ කොළඹ වෙළඳ සංගමයේ සාමාජිකයන් සමග අවස්ථා කීපයක දී මා සහ අමාත්‍යංශ නිලධාරීනුත් සමග සාකච්ඡා පවත්වා තිබේ. නමුත් මගේ සහෝදරයා සහ ඒ ව්‍යාපර අතර සම්බන්ධයක් නැත.

යම් යම් අමුද්‍රව්‍ය මම ත්‍රස්තවාදීන්ට ලබා දුන් බවට ද බරපතල චෝදනාවක් නගා තිබේ. අපේ අමත්‍යාංශය යටතේ ඇති කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මගින් කර්මාන්තශාලා වෙත අමුද්‍රව්‍ය සැපයීමෙන්, තාක්‍ෂණය හා අළෙවිය සඳහා උදව් ලබාදීමෙන් සහය වීම සිදු කෙරේ. 2005 වසරේ සිට අනුගමනය කරන ක්‍රමය වෙන්නේ අමුද්‍රව්‍ය අවශ්‍ය කර්මාන්තශාලා පුවත් පත් දැන්වීමක් මගින් ලියාපදිංචි කිරීමයි. ලියාපදිංචි වූ කර්මාන්තශාලා වෙත අවශ්‍යතාව අනුව අමුද්‍රව්‍ය සපයනු ලැබේ. මේ වසරේ එසේ ලියාපදිංචි වුණු කර්මාන්ත ශාලා 300 ක් තිබේ. ඒ කර්මාන්ත ශාලාවන්ට නීත්‍යානුකූල ලෙස අමුද්‍රව්‍ය ලබා දී තිබේ.

වැල්ලම්පිටියේ මේ කර්මාන්ත ශාලාවට වැඩි සැලකිල්ලක් දක්වන ලෙස යම් යම් පුද්ගලයන්ගෙන් ඉල්ලීම් තිබුණත්, අපේ අමාත්‍යංශය කිසිවිටෙක නීතියට පිටින් කටයුතු කර නැත.

මේ පිළිබඳව අමාත්‍යංශ ලේකම්තුමා පත් කළ ස්වාධීන කමිටුවක් මගින් විශේෂ වාර්තාවක් ද අපි ලබා ගත්තෙමු. ඒ වාර්තාව මේ වන විට ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් බාරදී ඇත. වරදක් වී ඇත්නම් ඒ වාර්තාව අනුව පියවර ගැනීමට හැකිය.

විල්පත්තුවේ කැලෑ බද ප්‍රදේශයකින් පුපුරණ ද්‍රව්‍ය සහ අවි ආයුධ සොයා ගැනීම ගැන චෝදනා නගන අය එය මා නියෝජනය කරන ප්‍රදේශයට අයත් බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙන යති. වනාතවිල්ලූව මා නියෝජනය කරන මන්නාරම දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශයක් නොවේ. මේ සියල්ලෙන් උත්සාහ කරන්නේ මා හට අසත්‍ය චෝදනා එල්ල කිරීමටය.

බෝම්බකරුවෙකුගේ බිරිඳගේ තාත්තා අපේ පක්‍ෂයේ විධායක කමිටුවේ සාමාජිකයෙකි.  එය මට චෝදනා නැගිය හැකි අන්දමේ වරදක් ද? බෝම්බකරුගේ පියා වන ඊබ්‍රහිම්, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිසතුවේ සාමාජිකයෙකි. එසේ වූ පමණින් ජනතා විමුක්ති පෙරමුණට ත්‍රස්තවාදී චෝදනා නැගීම සාධාරණද?

තමන්ට අවුරුදු පහක් තිස්සේ කෑම බීම හදා දුන් පුද්ගලයා තමන් මරා දැමීමට සම්බන්ධ වූ හැටි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පෙන්වා දුනි. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය කළේ සුචරිතයේ නිතර ගැවසුණු බාබු ය. ඒ කරුණු පදනම් කරගනිමින් ප්‍රේමදාස මහතා හෝ ෆොන්සේකා මහතා ත්‍රස්තවාදීන් කියා තර්ක කළ හැකිද?

මේ අතර මගේ ව්‍යාපාර සහ ආදායම් ගැනත් එක් එක් චෝදනා නගා තිබේ. එස්. බී. දිසානායක මහතා පුවත් පත් සාකච්ඡා පවත්වමින් අසත්‍ය තොරතුරු ගණනාවක් ප්‍රකාශ කර තිබේ. දින පණස් දෙකේ කුමන්ත්‍රණයේ දී මම එතුමාගේ ආරාධනය ප්‍රතික්ෂේප කිරීමේ පලිය ගැනීමට මේ ආකරයට චෝදනා නැගීම පහත් දේශපාලනයකි.

මම එක් දෙයක් අවධාරණය කරනු කැමැත්තෙමි. දේශපාලනයට පිවිසි දවසේ සිට මගේ වත්කම් බැරකම් ප්‍රකාශ මම ඉදිරිපත් කර ඇත්තෙමි. ඕනෑම කෙනෙකුට ඒවා පරීක්‍ෂා කරලා බැලීමට හැකිය. ඕනෑම පරීක්‍ෂණයකට මුහුණ දීමට බියක් මා තුළ නැත්තේ කිසිදු අයථා ක්‍රමයකින් මම මුදල් උපයා නැති බැවිනි.

එලෙසම මට විරුද්ධව බොරු චෝදනා නගන පුද්ගලයන් හා මාධ්‍ය ආයතන පිළිබඳ නීතියට අනුව කටයුතු කිරීමට මම දැනටමත් පියවර ගෙන ඇත්තෙමි. ඒ අවස්ථාවල දී ඔවුන් කියූ දේ සත්‍යය බව නීතිය ඉදිරියේ ඔප්පු කරන්න ඔවුන්ට සිදු වනු ඇත. මගේ නිවැරදි බව මම ඔප්පු කරන්නෙමි.

මේ චෝදනා කරන අය දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ සැබෑ ත්‍රස්තවාදියා හා සැබෑ අන්තවාදියා ආරක්‍ෂා කිරීමය. සැබෑ ත්‍රස්තවාදියා වෙත අවධානය යොමු වෙන්නට ඉඩ නොදී මා වෙත ඇඟිල්ල දිගු කිරීමය.

අපි දැඩි ඉස්ලාම් භක්තිකයන් වෙමු. අල්ලා දෙවියන් වහන්සේ ත්‍රස්තවාදය අනුමත කරන්නේ නැත. අන්තවාදය අනුමත කරන්නේ ද නැත.

මම කිසිම ත්‍රස්තවාදයකට සම්බන්ධ නැත්තෙමි. මම ත්‍රස්තවාදයට අනුබල නොදෙන්නෙමි. මම ත්‍රස්තවාදයට විරුද්ධය. මම ත්‍රස්තවාදයෙන් බැට කෑ පුද්ගලයෙකි.

මම කිසිම අන්තවාදයකට සම්බන්ධ නැත්තෙමි. මම අන්තවාදයට අනුබල නොදෙන්නෙමි.  මම අන්තවාදයට විරුද්ධය.  

මේ ත්‍රස්තවාදය නිසා, අන්තවාදය නිසා විනාශ වූ ජීවිත ගැන මම දැඩි ලෙස කම්පා වන්නෙමි. ඒ සියළු දෙනා වෙත මගේ ශෝකය පළ කරන්නෙමි. තුවාල ලැබූ සියළු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමි. මේ අසීරු අවස්ථාවේ සාමය සහ සංහිදියාව වෙනුවෙන් ඇප කැපවුණු සියළු දෙනාට හිස නමා ස්තුතිය පුදන්නෙමි.

විශේෂයෙන්ම අපේ මැල්කම් රංජිත් කාදිනල්තුමාට ගෞරවය පළ කරනු කැමැත්තෙමි. ඒ ලෙසින්ම මහානායක ස්වාමීන් වහන්සේලාට, හින්දු පූජක තුමන්ලාට, මවුලවීතුමන්ලාට කෘතවේදීත්වය පළ කරමි.

සාමය ආරක්‍ෂා කිරීමට කැපවී ක්‍රියා කළ පොලීසිය, ත්‍රිවිධ හමුදා, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, ග්‍රාමීය නායකයින්ට ස්තුතිවන්ත පළ කිරීමට කැමැත්තෙමි.

මේ අපේ රටයි. එක මවකගේ දරුවන් ලෙස අප ජීවත් වෙන රටයි. මේ රට ආරක්‍ෂා කිරීම, දියුණු කිරීම හා ගොඩ නැංවීම අපි සියල්ලගේම වගකීම හා යුතුකමයි. අපි ඒ වෙනුවෙන් විචාරශීලීව කැපවෙමු.

මේ අපේ රටයි. එක මවකගේ දරුවන් ලෙස අප ජීවත් වෙන රටයි. මේ රට ආරක්‍ෂා කිරීම, දියුණු කිරීම හා ගොඩ නැංවීම අපි සියල්ලගේම වගකීම හා යුතුකමයි. අපි ඒ වෙනුවෙන් විචාරශීලීව කැපවෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *