ද්වීපාර්ශ්වීය වෙළඳ සම්මුතියක් සඳහා දැනට සිදුකෙරෙන සාකච්ඡා අවසන් වූ විගසම ශ්‍රී ලංකාව සමඟ අදාළ ගිවිසුම අත්සන් කිරීමට තම රට බලාපොරොත්තුවෙන් පසුවන බැව්, ශ්‍රී ලංකාවේ නව බංග්ලාදේශ තානාපති, තරික් අශාන් මහතා පැවසීය.

තානාපතිවරයා මේ බැව් පැවසුවේ, බංග්ලාදේශ-ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වීය වෙළඳ කටයුතු වල වත්මන් තත්වය හා එහි ප්‍රගතිය පිළිබඳ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා සමඟ පැවති සාකච්ඡාවන්හිදීය. මෙම හමුව පසුගියදා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තානාපතිවරයා, පසුගිය සැප්තැම්බර් 23 වන දින අප දෙරට අතර පැවති සාකච්ඡා මත පදනම්ව අපගේ ප්‍රතිචාර ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා රජයට දැනුම් දීමට අප බලාපොරොත්තුවෙන් සිටිනවා. ද්වීපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් සඳහා වන එම සාකච්ඡාවන් දෙරටටම වාසිදායක ලෙස තීරණය වනු ඇතැයි මා විශ්වාස කරනවා. මේ සඳහා වන සම්මුතීන් හා ක්‍රියාපටිපාටිය පිළිබඳව දැනට සිදුකෙරෙන සාකච්ඡා අවසන් වූ විගසම ශ්‍රී ලංකාව සමඟ අදාල ගිවිසුම සඳහා අත්සන් කිරීමට තම රට බලාපොරොත්තුවෙන් පසුවනවා.

 

මා ශ්‍රී ලංකාවේ සේවය සඳහා පැමිණීමට පෙරාතුව, බංග්ලාදේශයේ අගමැතිනී ෂික් හසීනා මහත්මිය සමඟ මෙම වෙළඳ ගිවිසුම පිළිබඳව ඉතා පුළුල් අයුරින් සාකච්ඡා කළා. මා මෙරට සිටින කාලය තුළදී වෙළඳාම ප්‍රවර්ධනයට වැඩි අවධානයක් යොමුකරන ලෙස ඇය එහිදී මාහට උපදෙස් දෙනු ලැබුවා.

අමාත්‍ය, බදියුදීන් මහතා මෙහිදී පැවසුවේ, මෙම ද්වීපාර්ශ්වීය සාකච්ඡාවන්හි ප්‍රථිථලය, සාමාන්‍ය වෙළඳ ගිවිසුමක් නොව, නිදහස් වෙළඳ ගිවිසුමක් නම් ඒ සඳහා ශ්‍රී ලංකා රජය වඩාත් කැමැත්තක් දක්වන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ නව වෙළඳ සබඳතා වෙනුවෙන් බංග්ලාදේශය දක්වන උනන්දුව හා ඉක්මන් ප්‍රතිචාර පිළිබඳව තම සතුට පළකරන බැව්ද අමාත්‍ය බදියුදීන් මහතා පැවසීය.

දකුණු ආසියානු රාජ්‍යයන් සමඟ කුළුපග මිත්‍ර සබඳතා පැවැත්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේද ප්‍රතිපත්තිය බැවින්, පවතින සාකච්ඡාවන් මත කුමණ ආකාරයේ වෙළඳ ගිවිසුමක් සඳහා වුවද ශ්‍රී ලංකා රජය සැලකිල්ල යොමුකිරීමට කැමැත්ත දක්වන බැව්ද අමාත්‍යවරයා පැවසීය.

ඇමරිකානු ඩොලර් මිලියන 139 ක් වන ශ්‍රී ලංකා-බංග්ලාදේශ ද්වීපාර්ශ්වික වෙළඳ අගය තවත් ඉහළ මට්ටමකට ගෙනඒමට මෙවැනි ගිවිසුම් බෙහෙවිත් ප්‍රථිථලදායී වනු ඇතැයිද, අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා විශ්වාසය පළකළේය.

 Bangladesh 02

2013 වර්ෂයේ ඇමරිකානු ඩොලර් මිලියන 139.23 ක් වූ ද්වීපාර්ශ්වීය වෙළඳ අගය, ඊට පෙර වර්ෂයේදී (2012 දී) පැවතියේ ඇ.ඩො. මිලියන 89 ක් ලෙසයි. 2012 වසරට සාපේක්ෂව පසුගිය වසරේ දෙරට අතර වෙළඳ ගණුදෙනු වල වර්ධනය 67% කි. ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශය වෙත සිදුකරන ප්‍රධාන අපනයන භාණ්ඩය වන්නේ ඇඟලුම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් වේ.

මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, අනුර සිරිවර්ධන, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, බන්දුල එගොඩගේ, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආර්.ඩී.එස්.කුමාරරත්න යන මහත්වරුන්ද සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *