දේශීය ව්‍යාපාර සන්නාම ගෝලීය වශයෙන් හඳුන්වාදී හස්ත කර්මාන්තකරුවාට ජාත්‍යන්තර වෙළෙඳපොළ අත්කර දීම අපගේ අරමුණ යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේ ශිල්ප සවිය ව්‍යවසායකත්ව ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට 08 වැනිදා සහභාගී වෙමිනි. එම උත්සවය කොළඹ 07, මල්වත්ත පාර, ජගුවර ප්‍රදර්ශනාගාරයේ දී පැවැත්විණි.

අමාත්‍යවරයා මෙසේ ද කීවේය. නිවැරැදි පුහුණුවක් හා මග පෙන්වීමක් ලබාදී අත්කම් නිර්මාණ නව වෙළෙඳ සන්නාම යටතේ අපනයනය කිරීමට වෙළෙඳපොළ අවස්ථා ලබා දීමට අප කටයුතු කරගෙන යනවා.

“ශිල්ප සවිය” තුළින් අපගේ ව්‍යවසායකයින්ට නව තාක්ෂණය අනුව නිර්මාණශීලීත්වය මෙන්ම කාර්මික දැනුම ලබා දීමට වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.

“ශිල්ප සවිය” ව්‍යවසායකත්ව වැඩසටහන ප්‍රමුඛ අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කර තිබෙනවා. එනම්, ජාතික ව්‍යාපාර කළමනාකරණ කුසලතා පුහුණු වැඩසටහන සඳහා ඉදිරිපත් වූ අයදුම්පත් අතුරෙන් 25 දෙනකු තෝරාගැනීමත්, කොළඹ මෝස්තර අළෙවිසැල සහයෝගයෙන් පවත්වනු ලැබූ මෝස්තර උපදේශකත්ව වැඩ සටහන සඳහා මෝස්තර උපදේශකයින් 14ක් පාරම්පරික ව්‍යවසායකයින් හා හවුල් වීමත් සහ තුන්වැනි අදියරට යටතේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමග සහයෝගීත්වයෙන් නව සන්නාම දේශීය හා විදේශීය වෙළෙඳපොළට හඳුන්වා දුන්නා.

අපගේ ප්‍රධාන අරමුණ වන්නේ නව ව්‍යාපාර සන්නාම ගෝලීය වශයෙන් හඳුන්වාදී හස්ත කර්මාන්තකරුවා ඉහළ ප්‍රමිතියෙන් හා නිර්මාණශීලීත්වයෙන් යුත් ව්‍යවසායකයෙකු බවට පත් කිරීමයි. එමෙන්ම නවොත්පාදක, වෙළෙඳපොළ අවස්ථා හඳුනා ගැනීම, ඉඩම්, ශ්‍රමය, හා ප්‍රාග්ධනය යන නිෂ්පාදන නිමැවුම් සම්පත් සංවිධානය කර ගැනීම, අවදානම් අවස්ථා කළමනාකරණය ව්‍යාපාර ප්‍රතිපත්ති සඳහා මූල්‍යමය තීන්දු තීරණ ගැනීම, කළමණාකරන සහ නායකත්ව ගුණාංග ඇති කිරීම මෙන්ම මූල්‍යමය කළමනාකරණය, ශිල්ප සවිය ව්‍යවසායකත්ව වැඩසටහනේ අරමුණු අතර තිබෙනවා යැයිද අමාත්‍යවරයා කීවේය.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා විජේබණ්ඩාර, ජාතික ශිල්ප සභාවේ සභාපති හේෂානි බෝගොල්ලාගම, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ඉන්දිරා මල්වත්ත ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *