ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික කලාවන් නව ලෝක වෙළඳපොළට ගැලපෙන පරිදි තාක්ෂණය හා මුසුකරමින් වර්ධනය කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි. ගමේ ඇති සම්පත්වලින් කරන නිර්මාණ ලෝක වෙළඳ පොලේ ඉහළ වටිනාකමක් සහිත නිෂ්පාදන බවට පත්කළ හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කර තිබූ තුන්පත් රටා පාරම්පරික පැදුරු හා වියමන් ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

පැදුරු හා රටා නිර්මාණ කියන දේ අතීතයේ පටන් ජන සමාජයේ භාවිතයට ගත්තත් අද වන විට මේ සම්ප්‍රදායික කලාව ක්‍රමයෙන් සමාජයෙන් ඈත්ව යනවා. සම්ප්‍රදායික පැදුරු හා වියමන් වසර දහස් ගණනක් මෙරට ඉතිහාසයේ අපූරු කලා නිර්මාණයක් හැටියට පැවතගෙන ආවා. පැදුරුවලට ප්‍රසිද්ධ ගම්මාන, ඒවා නිර්මාණය කරන පරම්පරාවන් පවා බිහිවුණා. ඔවුන් තවමත් තම සම්ප්‍රදායික කර්මාන්තය පවත්වාගෙන එනවා.

ගමේ ගොඩේ සොයා ගත හැකි දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන මේ කරන නිර්මාණය ඉතාමත් අලංකාරයි. මේ කර්මාන්තයට ශ්‍රී ලාංකිකයන් ඇල්මක් දක්වන බවත් අපි දන්නවා. නමුත් අද භාවිතයෙන් ඈත්වෙලා.

මේ ආකාරයෙන් විවීමත්, එහි රටා යොදමින් අලංකාර කිරීමටත් මෙරට ශිල්පීන් දක්ෂතා දක්වනවා. විශේෂයෙන් ම කාන්තාවන් මෙහි සුවිශේෂී කුසලතාවක් පෙන්වනවා. වයඹ, මධ්‍යම, දකුණ, බස්නාහිර කියන පළාත් වල මේ හැකියාවෙන් යුක්ත ශිල්පීන් විසිරී සිටිනවා

අද වනවිට මේ පැදුරු කර්මාන්තය බහුලව යොදා ගන්නේ අලංකාරය හා සැරසිලි සඳහා. අප හඳුනාගෙන තිබෙනවා මෙය දේශීය හා විදේශීය වෙළඳ පොළට ඉදිරිපත් කළ හැකි අපේ කර්මාන්තයක් ලෙස. මේ නිසා මේ නිර්මාණකරුවන්ට තමන්ගේ නිෂ්පාදන අළෙවි කරගැනීමේ අවස්ථා ලබා දීමට අපි සැළසුම් කර තිබෙනවා. මෙවැනි නිර්මාණ කරන ශිල්පීන්ට අවශ්‍ය ප්‍රචාරය හා ප්‍රසිද්ධිය ලබා දී ඔවුන් ඒ සඳහා උනන්දු කරන්නටත් අපි සැළසුම් කරනවා.

එහි එක් පියවරක් ලෙස ‘‘තුන්පත් රටා“ යන නමින් සම්ප්‍රදායික පැදුරු හා වියමන් නිර්මාණ ප්‍රදර්ශනයක් පැවැත්වීමට හැකිවීම විශාල සතුටක්. මේ නිර්මාණ දකින විට ඇතිවන්නේ අපේ ශිල්පීන් ගැන වගේම ඒ නිර්මාණාත්මක හැකියාව ගැනත් ආඩම්බරයක්.

අපට නව මෝස්තර සකස් කරමින්, තරුණ පරපුර සමග මේ සම්ප්‍රදායික කලාව වර්ථමාන සමාජයට ගැලපෙන ආකාරයෙන් වෙළඳපොළ කරා ගෙන යාමට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දායකත්වය අවශ්‍ය වනවා. මහාචාර්ය තුමනි, එයින් අපිට මේ සම්ප්‍රදායික කලාව ඉදිරි පරපුර වෙනුවෙන් රැකගන්නත් ඒ සඳහා අවශ්‍ය වෙළෙඳ පොළ නිර්මාණය කරගන්නත් හැකියාව ලැබේවි.

ශිල්පීන් හා ගැනුම්කරුවන් මුණගැස්වීමටත් වෙළඳපොළ හඳුන්වාදීමටත්, මේ සම්ප්‍රදායික කලාව යළි සමාජයේ ප්‍රචලිත කරන්නත් මේ වගේ ප්‍රදර්ශන අවශ්‍යවනවා. මේ කාර්යය සංවිධානය කරපු අපේ ජාතික ශිල්ප සභාවේ සභාපතිතුමිය ඇතුළු ඒ නිලධාරීන්ටත් පැමිණි සියලුම කලා ශිල්පීන්ටත් උදව් උපකාර කළ සියලු දෙනාත් ස්තූති කරමින් සිහිපත් කරනවා.

14203364_1409236985759159_4670701555677463473_n

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *