එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ගෝලීය ඉලක්ක, කර්මාන්ත හා වාණිජ ක්ෂේත්‍රය තුළ සාක්ෂාත් කර ගැනීමේදී පාරිභෝගික අයිතිවාසිකම් සුරක්ෂිත කරමින්, වෙනස් වන ලෝකයට ගැලපෙන ආකාරයට වෙළෙඳපොළ පාරිභෝගික භාණ්ඩ ප්‍රමිතිය සකස් කර ගැනීමට මුළු ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව අපි තරඟකාරී වෙළෙඳපොළ තුළ පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩ පිළිවෙලක් ආරම්භ කරනවා යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා ”ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් දිනය” නිමිත්තෙන් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනය සෑම වසරකම මාර්තු 15 වැනිදා ට යෙදී තිබේ. මෙම දිනය ලෝකය පුරා රටවල් මහත් හරසරින් යුතුව සමරති. 2018 වසරේ ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනයේ තේමාව වන්නේ ”සාධාරණ ඩිජිටල් වෙළෙඳපොළක් හදමු” යන්නයි.

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවේදනයේ වැඩි දුරටත් මෙසේද සඳහන් වේ. සෑම වසරකම මාර්තු 15 වැනිදාට ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය යෙදී තියෙනවා. එහි මෙවර තේමාව වන්නේ ”සාධාරණ ඩිජිටල් වෙළෙඳපොළක් හදමු”යන්නයි. අද මුළු ලෝකයම තොරතුරු සන්නිවේදන තාක්ෂණය නිසා වෙනස් වෙමින් පවතින යුගයක, එහි බලපෑම වෙළෙඳ, වාණිජ, ආහාර හා  කර්මාන්ත ක්‍ෂේත්‍රයටත් ප්‍රබල ලෙස බලපා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද අපගේ කර්මාන්ත හා වෙළෙඳපොළ ඩිජිටල්කරණය වෙමින් පවතිනවා. එහි බලපෑම නිසාම මිනිස් ක්‍රියාකාරකම් අභිබවමින් තාක්ෂණය මතුවීමට පටන්ගෙන තිබෙනවා. එම නිසාම පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමටත්, භාණ්ඩ හා සේවා නිෂ්පාදනවල ප්‍රමිතිය ඉහළ මට්ටමින් සුරක්ෂිත කිරීමටත්, මෙම ඩිජිටල්කරණය වන වෙළෙඳපොළ සාධාරණ වෙළෙඳපොළක් බවට පත් කිරීමේ වගකීම අද අපට පැවරී  තිබෙනවා. මේ නිසාම අපේ රටේ පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීමටත්, ඩිජිටල්කරණය වෙමින් පවතින අපගේ වෙළෙදපොළ සාධාරණ වෙළෙඳපොළක් බවට පත් කිරීමේත් වගකීම පැවරෙන්නේ අපේ රටේ පාරිභෝගික අයිතීන් හා වෙළෙඳ පොළ භාණ්ඩ මිළ හා ප්‍රමිතිය නියාමනය කරන ශ්‍රි ලංකා පාරිභෝගික කටයුතු අධිකාරියයි.

එසේම පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ ප්‍රධාන අරමුණු 4ක් තියෙනවා. ඒ මඟින් අනතුරුදායක භාණ්ඩ හා සේවාවලින් පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමටත්, වෙළෙඳුන්ගේ අසාධාරණ වෙළෙඳ පිළිවෙත්වලින් පාරිභෝගිකයා සුරක්ෂිත  කිරීමටත්, පාරිභෝගිකයා සූරා කෑමෙන් ආරක්ෂා කිරීමත් සිදු කෙරෙනවා. මේ ගැන අප දැනටමත් පාරිභෝගික ජනතාව වගේම, වෙළෙඳ ව්‍යාපාරික ජනතාවත් දැනුවත් කිරීමට පියවර ගෙන තියෙනවා.

අප පාරිභෝගික කටයුතු අධිකාරිය ගෙවී ගිය 2017 වසර තුළදී පාරිභෝගිකයා සූරා කමින්, අසාධාරණ ලෙස වෙළෙඳාම් කරන වෙළෙද වැටලීම් 25,708 ක් කරලා තියෙනවා. එය 2016 වසර සමඟ සංසන්දනය කරන විට සියයට 17.5% ක පමණ වැඩි වීමක් වෙනවා. ඒ අනුව නඩු පවරා දඩ මුදල් ලෙස රුපියල් කෝටි 9.82 ක් රජයට අයකර දී තියෙනවා. අප අපේක්ෂා කරන්නේ පාරිභෝගිකයා සුරකිමින්, භාණ්ඩ හා සේවාවල ප්‍රමිතිය ඉහළ නංවමින්, වෙළෙද ව්‍යාපාරිකයින් යහපත් ආචාරධර්ම පිළිවෙතකට යොමු කරන සාධාරණ වෙළෙඳපොළක් පාරිභෝගික ජනතාව වෙනුවෙන් බිහි කර දීමටයි. ඒ සඳහා අප පාරිභෝගික සුභ සිද්ධිය සුරක්ෂිත කිරීම සඳහා පවතින නෛතික රාමුව පිළිබදව අවධානය යොමු කළ යුතුයි. එමඟින් නියාමන කටයුතු යහපත් කරමින්, වෙළෙඳපොළ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට පියවර ගත යුතු වෙනවා. ඒ වගේම මේ තුළින් අපේක්‍ෂා කරන සමාජ හා ආර්ථික ප්‍රතිලාභ ළඟා කර ගත හැකි ක්‍රමවේද පිළිබඳව ද අපගේ අවධානය යොමු කළ යුතු වෙනවා. මේ මඟින් ඩිජිටල්කරණය වන වෙළෙඳපොළ සාධරණ ඉසව්වකට මෙහෙය වීමට නම් නිෂ්පාදනවල ගුණාත්මක බව, මෙන්ම ප්‍රමිතිය ඉහළ නැංවීම තුළින් පාරිභෝගිකයාට වඩාත් යහපත් පරිසරයක් ගොඩ නඟා දීම වැදගත් වෙනවා. අප මේ වන විටත් ඒ සඳහා පියවර ගෙන තිබෙන බව සතුටින් සඳහන් කරන්න ඕන”‍ යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *