කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පසුගියදා (26) එම අමාත්‍යාංශය යටතේ පවතින තංගල්ල, බටඅත කර්මාන්ත පුරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවට එක්විය. කර්මාන්ත පුරයේ වත්මන් තත්වය සොයා බැලීමත්, එහි කර්මාන්ත කරුවන් මුහුණ පා සිටින විවිධ දුෂ්කරතා සඳහා විසඳුම් ලබාදීමත් චාරිකාවේ අරමුණ විය.
මෙම චාරිකාවේදී බටඅත කර්මාන්ත පුරයේ ප්‍රවේශ මාර්ගය අබලන් වීම හේතුවෙන් තමන් පත්ව ඇති අපහසුතා පිළිබඳ එහි ආයෝජක සංගමයේ සාමාජිකයන් විසින් අමාත්‍යවරයාගේ අවධානය යොමුකරන ලදී. මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත් අමාත්‍ය, බදියුදීන් මහතා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ එහි ප්‍රවේශ මාර්ගය අලුත් වැඩියා කිරීම වෙනුවෙන්, රුපියල් මිලියන 60 ක් එම අවස්ථාවේදීම වෙන්කරන ලදී. එමෙන්ම මෙහිඳී හඳුණාගත් තවත් මූලික ගැටළුවක් වන, එම කලාපයේ කර්මාන්ත සඳහා අවශ්‍ය විවිධ ජල පීඩන තත්වයන් නිවැරදි කිරීම වෙනුවෙන් ගතයුතු කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අමාත්‍යවරයා බලධාරීන්ට නියෝග කරන ලදී.
 Bataatha 02
තවද, බටඅත කර්මාන්ත පුරයේ පහසුකම් නොමැති කමින්, එහි කර්මාන්ත ශාලාවන්හි රසායනික හා කර්මාන්ත අපද්‍රව්‍ය පිරිපහදු කිරීම මේ වන විට සිදුකරන්නේ ගාල්ල, කොග්ගල ආයෝජන කලාපයේ පිරිපහදු පද්ධතිය උපයෝගී කරගෙන බැව්ද, ගලි බවුසර් රථ මගින් මේවා බටඅත සිට කොග්ගලට ප්‍රවාහනය කිරීම හේතුවෙන් අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත් මෙහිදී ආයෝජකයන් විසින් අමාත්‍යවරයාට පෙන්වා දෙන ලදී. ඒ අනුව, බටඅත කර්මාන්තපුර සංවර්ධනයේ දෙවන අදියර යටතේ අපද්‍රව්‍ය පිරිපහදු ඒකකයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය අධ්‍යයනයන් කරන බැව්ද අමාත්‍ය, බදියුදීන් මහතා ආයෝජකයන්ට දැන්වීය.
මෙහිදී අදහස් දැක්වූ බදියුදීන් අමාත්‍යවයා කියා සිටියේ, මාගම් රුහුණුපුර වරායටත්, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලටත් ඉතා සමීපයෙන් පිහිටා ඇති බැවින් බටඅත කර්මාන්ත පුරය ඉතා සුවිශේෂී ආයෝජන කලාපයක් ලෙස සංවර්ධනය කළ යුතු බවයි. දිවයිනේ විවිධ ප්‍රදේශ වල පිහිටි කර්මාන්ත පුරයන්ගේ අවශ්‍යතා විවිධ ඒවා බවත්, ඒ ඒ කර්මාන්ත පුරයන්හි ප්‍රමුඛතා හඳුණාගෙන වැඩිදියුණු කිරීමට අවශ්‍ය කටයුතු දැන් සිදුකරමින් සිටින බවත් හෙතෙම තවදුරටත් පැවසීය. නිෂ්පාදනය කිරීමෙන් පසු හෝ ඇසුරුම් කිරීමෙන් අනතුරුව කඩිනමින් නැව්ගත කළ යුතු හෝ ගුවන් ගත කළ යුතු නිෂ්පාදන කර්මාන්ත සඳහා බටඅත කර්මාන්ත පුරය ඉතා උචිත බැව් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය. මෙම කර්මාන්ත පුරයේ ඉදිරි කටයුතු වලදී, මාගම් රුහුණුපුර සංවර්ධන සැලැස්මට අනුගතව සංවර්ධන කටයුතු සිදුකිරීම කාලෝචිත බැවින්, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා හා රජයේ නිලධාරීන්ගේ දායකත්වය ලබාගන්නා ලෙසද රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා තම අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
බටඅත කර්මාන්ත පුරයේ ආයෝජක සංගමයේ සභාපති, සේනක ගුරුසිංහ මහතා මෙහිදී පැවසුවේ, කලක සිට පැවති අඩුපාඩු සොයා බලා ඒවාට ක්ෂණික විසඳුම් ලබාදීම පිළිබඳ අමාත්‍යවරයා ඇතුළු කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරීන්ට තම සංගමයේ ස්තුතිය පිරිනමන බවයි. එමෙන්ම අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ සිදුවන හම්බන්තොට දිස්ත්‍රික්කයේ සීග්‍ර සංවර්ධන කටයුතු වලට සමගාමීව මෙම කර්මාන්ත පුරය තව තවත් දියුණු කිරීමේ හැකියාවක් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
 Bataatha 03
2000 වසරේදී ස්ථාපිත කරන ලද බටඅත කර්මාන්ත පුරය, අක්කර 106 ක භූමි භාගයක් පුරා විහිදී ඇති අතර, දකුණු පළාතේ ඇති විශාලතම කර්මාන්ත පුරයයි. දැනට මෙහි මහා පරිමාන කර්මාන්ත ශාලා පහක් ස්ථාපිතව ඇති අතර, 1200 ක් පමණ සේවක පිරිසක් මෙම කර්මාන්ත පුරයේ රැකියාවන්හි නිරත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *