ලංකා සතොස බඳවා ගැනීමේ සහ උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදය විධිමත් කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේ ලංකා සතොස ප්‍රධාන කාර්යාලයේ දීර්ඝ කාලයක් සේවය කළ සේවක සේවිකාවන් 45 දෙනෙකුට තනතුරු උසස් කිරීමේ ලිපි ප්‍රධානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස 04දා සහභාගී වෙමිනි. උත්සවය කොළඹ, වොක්ෂොල් වීදිය සතොස මහලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

අමාත්‍යවරයා මෙසේ ද කීවේය. සතොස ආයතනයට බඳවා ගැනීමේ විධිමත් ක්‍රමවේදයක් හඳුන්වාදීමට අපට හැකිවුණා. මගේ අමාත්‍යාංශයට සතොස ආයතනය ලැබීමත් සමග ඒ සඳහා විධිමත් උසස් වීමේ පටිපාටියක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණා. ඒ සඳහා ලංකා සතොස ආයතනයේ සභාපති මොහොමඩ් රිස්වාන්, සහ ප්‍රධාන විධායක නිලධාරී එච්.එම්. ෆරාස් යන මහත්වරු ඇතුළු සියලු ඉහළ නිලධාරීන් සුවිශේෂ වැඩ කොටසක් සිදු කළා. එමෙන්ම ලංකා සතොස ශාකාවල සහ ප්‍රධාන කාර්යාලයේ දීර්ඝ කාලයක් සේවය කළ සේවක සේවිකාවන් 250 දෙනෙකුගේ තනතුරු උසස් කිරීමට අපේක්ෂා කරනවා.

පුද්ගලික අංශය සමග තරඟකාරීව ලංකා සතොස ආයතනය මේ වන විට පවත්වාගෙන යනවා. වෙළෙඳපොළේ මිල තීරකයා බවට ලංකා සතොස මේ වන විට පත්ව තිබෙනවා. ජනතාවට ඉහළ සේවාවක් ලබා දෙමින් ලාබ ලබන ආයතනයක් ලෙස ලංකා සතොස පවත්වාගෙන යාම මගේ අපේක්ෂාවයි.

මෙම අවස්ථාවට ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී ආචාර්යය එච්.එම්. ෆරාස්, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (මානව සම්පත්) පියල් අබේසේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) ගාමිණී පෙරේරා, ජේෂ්ඨ වෙළෙඳ කළමනාකරු ගයාන් කීර්තිසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *