විල්පත්තු වන සංහාරය සිදු කළේ මුස්ලිම් ජාතියන් විසින් යැයි ඇතැම් ජාතිවාදී කණ්ඩායම් ගෙන යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවක් නැතැයි ද රාජ්‍ය දැව සංස්ථාව විසින් ගස් කපා ඉවත්කර ඇතැයි ද පරිසරවේදී තිලක් කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය 19 දා කොළඹ රාමඩා හෝටලයේ දී සිවිල් ක්‍රියාකාරිකයන් දැනුම්වත් කිරීමේ රැස්වීමක දී අදහස් දක්වමිනි.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීවේය.

‘‘ විල්පත්තුව කපනවා විල්පත්තුව කපනවා මේක කරන්නේ රිෂාඩ් බදුයිදීන් ඇමතිවරයා යැයි කියමින් අපේ කොළඹ ඉන්නා පරිසරවේදීන් සහ ජාතිවාදී කණ්ඩායම් පුළුල් ප්‍රචාරයක් ගෙන යනවා. විහාර මහා දේවී උද්‍යානය ඉස්සරහට ඇවිත් විල්පත්තු බේරාගනිව් කියලා කෑ ගහන ඇතැම් පරිසර සංවිධානවල අය දන්නේ නැහැ විල්පත්තුව තියෙන්නේ කොහේද කියලවත්. ඇත්තටම විල්පත්තු වනෝද්‍යානයේ කිසිම විනාශයක් වෙලා නැහැ. විල්පත්තු සීමාවට උඩින් මෝදරගම් ආරු ඇළට උතුරින් මරිච්චකඩ්ඩි කියන ගම පිහිටලා තියෙනවා. මේ ගමේ අතීතය කවුරුවත් හොයන්නේ නැහැ. මේවා මිනිස්සු අවුරුදු සිය ගණනක් පදිංචිවෙලා හිටපු ඉඩම්. මේ අයට කොටි ත්‍රස්තවාදය නිසා ගම් බිම් දාලා යන්න වුණා. දැන් ඒ අය නැවත පදිංචි කරනවා. මේ මිනිස්සු ගිහින් විල්පත්තුවට උඩින්තියෙන විලත්තිකුලම් රක්ෂිතයවත්, කල්ලාරු රක්ෂිතයවත් කැපුවේ නැහැ. ඒ තැන්වල මිනිස්සු පදිංචිකරන්න ඕන කියලා තීරණය කළේ රජය. රජය විසින් පත් කර තිබූ උතුරේ නැවත පදිංචි කිරීමේ සංවර්ධනය හා ආරක්ෂාව පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් තමයි මේ තීරණ ගත්තේ. ඒවා හිතුමතයට ගත් තීන්දු තීරණ නෙවෙයි. රජයේ නිලධාරීන් සමග සාකච්ඡා කරලා ගත්තු තීරණ. ඒ සාකච්ඡා සඳහා කොළඹ පරිසරවේදීන් නොගියාට වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සහභාගී වුණා.“

තිලක් කාරියවසම් මහතා පවසන්නේ 2012 නොවැම්බර් 15 දා කමිටු වාර්තාවක් ඉදිරිපත් කරමින් මන්නාරම දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 1080ක්, වවුනියාව දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 325ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 983ක් ජනතාව නැවත පදිංචිකිරීම සඳහා ලබාදීමට අන්තර් අමාත්‍යාංශ කමිටුව නිර්දේශ කර ඇති බවයි.

‘‘යුද්ධය අවසන් වූ වහාම උතුරේ වනාන්තර රැක ගැනීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනම් ක්‍රියාමාර්ග අරගෙන තිබුණා. අපි ඒකත් අගය කළ යුතුයි. ඔවුන් චන්ද්‍රිකා ඡායාරූප පරීක්ෂා කරලා කොළඹ ඉදගෙන ජීපීඑස් මගින් සීමා නීර්ණය කරලා අලුතෙන් වන රක්ෂිත ගැසට් කළා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිළිගන්නවා තම නිලධාරීන් ක්ෂේත්‍ර චාරිකාවක් නොගිහින් මේ සීමා දැම්මා කියා. ඉතින් ඒ සීමාවල් ඇතුලේ පැරණි ගම්බිම් තිබුණා. ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා සෑදූ උදාගම් තිබුණා. පල්ලි තිබුණා. පාසල් තිබුණා. මේවා නව වනාන්තර සීමාවට ඇතුලත් වුණා. එසේ නව වනාන්තර සීමාවට ඇතුලත් වූ ප්‍රදේශයේ කොටසක් තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මිනිසුන් පදිංචි කිරීම සඳහා නැවත නිදහස් කරන්නේ. එලෙස නිදහස් කිරීමේ දී කඩිනමින් මේ දේවල් කරපු නිසා යම් යම් දෝෂ සහගත තැන් තිබෙනවා. මේ මිනිසුන් පදිංචි වූ ප්‍රදේශය මැනීමට මැනුම් නියෝග නිකුත් කරන්න කියා මුසලි ප්‍රාදේශීය ලේකම්ට දැනුම් දී තිබෙන්නේත් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනාරාල් වරයා විසින්මයි. ඉන් පසු මන්නාරම දිසා වන නිලධාරී වරයා 2013 මාර්තු 27 දිනැති ලිපිය මගින් රාජ්‍ය දැව සංස්ථාවේ අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකාරවරයාට දැනුම් දෙනවා නිදහස් කිරීමට නියමිත වනාන්තරයේ ඇති වාණිජ වටිනාකමකින් යුතු ශාක සියල්ල ලැයිස්තු ගත කරන්න කියා. ඉන් පසු මේ ශාක ඉවත් කරන්නේ රාජ්‍ය දැව සංස්ථාවෙන්. ඉතින් කොහොම ද මේවා මුස්ලිම් ජාතිකයන් විසින් අනවසරයෙන් කැපූ ගස් කියා කියන්නේ. මේ කතාවල් ඔක්කොම කියන්නේ කොළඹ ඉදගෙන. මේ තැන්වලට ගිහිල්ලා බලල නැහැ. අනවසරයෙන් කපා පදිංචි වූවා යැයි කියන ඉඩම්වලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූණත් එක්කම දීපු ඉඩම් හිමිකම් ඔප්පු පවා ඒ මිනිසුන්ට තියෙනවා. ජාතිවාදය අවුස්සන්න මේ වගේ බොරු ප්‍රචාරයක් ගෙන යාම වැරදියි. “

විල්පත්තුව-තිලක් කාරියවසම් මහතා[(000955)2017-01-22-20-49-48]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *