ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2017 දී ශ්‍රී ලංකා හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ද්වීපාර්ශවික වෙළෙඳුම, 37 % කින් වැඩි වී ඇති බවත්, ඒ අනුව 2016 වසරේදී දෙරටේ දිවීපාර්ශවික වෙළෙඳ ගනුදෙණුවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.83 ක් වන බවත්, එය 2016 දී ඇමරිකානු ඩොලර් බිලියන 1.34 ක් වු බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඩ් අලි අල් මුඅල්ලා (Mr. Ahmad Ali Al Mualla) මහතා සමඟ දෙරටේ ද්වීපාර්ශවික වෙළෙඳ ගණුදෙනු පිළිබඳ සාකච්ඡාවේදීය.

මෙහිදී අමාත්‍යවරයා හා තානාපතිවරයා අතර දෙරටේ වෙළෙඳ ගණුදෙනු, නව ආයෝජන ආශ්‍රිතව සාකච්ඡා කෙරුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

“ගල්ෆ් කලාපයේ දෙවන විශාලතම අරාබීය ආර්ථිකය හිමි එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශවික වෙළෙඳාම් සහ ආයෝජන අවස්ථා පෙර නොවූ විරූ ආකාරයට වැඩි වී තිබෙනවා. ඒ සඳහා ආයෝජන ආරක්ෂණ ගිවිසුමක් ඇති කරගැනීමට අප දෙරට බලාපොරොත්තු වෙනවා. අපි එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආනයනය කරන ප්‍රධාන ද්‍රව්‍ය වන්නේ පෙට්රෝලියම් නිෂ්පාදනයි. ඒ යටතේ පෙට්රෝලියම් තෙල්, පෙට්රෝල්, කෙරොසින් ජෙට් ඉන්ධන, බීටුමන් ඇතුළු ඉන්ධන හා තෙල් වර්ග ආනයනය කරනවා. ඒ වගේම අපි එරටට අපනයනය කරනු ලබන්නේ ඇඟලුම්, විනාකිරි ඇතුළු පාන වර්ග, කෘෂිකාර්මික ද්‍රව්‍යය අයත් වෙනවා. ඒ වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2012 සිට 2017 දක්වා මෙරටට සාජු විදේශ ආයෝජන ඔස්සේ ලබා දුන් ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 405 කටත් වඩා වැඩියි. එම ව්‍යාපෘති අතර ගලධාරී හෝටල් ව්‍යපෘතිය, එමිරේට් ගෲප්ස් සංචාරක, අල් නටාටම්, එටිසලාට් සන්නිවේදනජාලා සේවය, ආහාර සැකසුම් ආදී ව්‍යාපෘතීන් ප්‍රධාන තැනක් ගන්නවා. එසේම අප දෙරට අතර සංචාරක කර්මානතය දියුණු කිරීම සඳහා ඉදිරි කාලය තුළ සුවිශේෂි වැඩ පිළිවෙලක් යොදන්න බලාපොරොත්තු වෙනවා.” යැයි පැවසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අහමඩ් අලී අල් මුඅල්ලා මහතා (Mr. Ahmad Ali Al Mualla) මෙසේද පැවසීය.

“ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ඉතා හොඳ දිගුකාලීන සබඳතාවක් පවතිනවා. අප දෙරට වෙළෙඳාම හා ආයෝජන වලින් ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩනගා ගෙන සිටිනවා. අප දෙරටේ වෙළෙඳ ගණුදෙනු පවතින්නේ ඉහළ මට්ටමකයි. එසේම අපි ඉදිරි කාලය තුළ අප දෙරටේම වෙළෙඳ හා ආයෝජන අවස්ථා වැඩි දියුණු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. අපි ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අරාබි ආයෝජකයෙකු වෙනවා. ඒ වගේම අපි ශ්‍රී ලංකාව සමඟ වෙළෙඳ හා සංචාරක ක්‍ෂේත්‍රයන්හි ආයෝජන ව්‍යපෘති සමඟ හවුල් වීමට කැමැත්තෙන් සිටිනවා. අප ඒ සඳහා දැනටමත් කටයතු කරමින් සිටිනවා.” යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *