සමුපකාරය ඩිජිටල් යුගයට පිවිසිය යුතු කාලය එළඹ ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේ, කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ 10වැනිදා පැවති සමුපකාර සමිති නායකයින්ගේ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

අමාත්‍යවරයා මෙසේ ද කීවේය. සමූපකාර අලෙවිසැල් ජාලය හා සුපිරි මෙගා අලෙවිසැල් ජාලය නවීන තාක්ෂණය ඇතුළු පහසුකම්වලින් පිරිපුන් මහජනතාව ආකර්ෂණය කර ගන්නා පාරිභෝගික සේවා ආයතන බවට පත් කළ යුතුයි. මේ වන විට එම තරඟකාරී වෙළෙඳපොළ තම අනන්‍යතාව රැකගෙන ඉදිරියට යන්න සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් වී තිබෙනවා.

පහසු මිල ට පාරිභෝගික භාණ්ඩ හා සේවය සලසන සමුපකාරය තවත් සුහදශීලීව සහ ගුණාත්මකව තම සේවය සැලසීමට එම කාර්යය මණ්ඩලය වග බලා ගත යුතුයි. සමුපකාර සමිති සතු ඉන්ධන පිරවුම්හල් එම සමිතිවල ප්‍රධාන ආදායම් මාර්ග බවට පත්වී තිබෙනවා. සමුපකාර  සේවකයින්ගේ ඵළදායීතාව ඉහළ දැමීමට පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ පළාත් නවය තුළ විවිධ සේවා සමූපකාර සමිති 304ක්, කෝප් සිටි 368ක් ද, මෙගා කෝප් සිටි 28ක්ද, සමූපකාර ප්‍රාදේශික 1,679ක්ද, සමඟ මුළු රට පුරාම සමූපකාර අලෙවිසැල් 3,108ක් පවතිනවා. රට පුරා සිටින පාරිභෝගික ජනතාවට සහන මිලට පාරිභෝගික භාණ්ඩ ලබා දීම සඳහා සමුපකාරය සිදු කරන මෙහෙය අගය කළ යුතුයි යැයි ද කීවේය.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් කේ. පියරත්න, සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමූපකාර සමිති රෙජිස්ට්‍රාර් එස්.එල්. නසීර්, ජාතික සමූපකාර මණ්ඩලයේ සභාපති ලලිත් පීරිස්, ග්‍රාමීය බැංකු මහා සංගමයේ සභාපති ධම්මික සොලමන්, පාරිභෝගික සමිති සම්මේලනයේ සභාපති රුවන් බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු මහත්ම මහත්මීන් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *