රටට සහ ජනතාවට විශාල මෙහෙරවක් සිදුකරන සමූපකාර ව්‍යාපාරය නගා සිටුවීම සඳහා සමූපකාර පනත සංශෝධනය කිරීමට කටයුතු කරමින් සිටින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.

අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ පසුගිය 30 දා කුලියාපිටිය වීරගම පොල් ත්‍රිකෝණයේ කිරි නිපදවන්නන්ගේ විවිධ සේවා සමූපකාරයේ පැවැති උත්සවයක දී අදහස් දක්වමිනි. සමූපාකර දෙපාර්තමේන්තුව මගින් කිරි ගොවීන් සඳහා රුපියල් ලක්ෂ 35ක මුදලක් වැයකර ශීතකරණ 50ක් ලබා දීම මෙහිදී සිදුකැරිණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ රිෂාඩ් බදුයිදීන් අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

‘‘ සමූපකාර ව්‍යාපාරය කියන්නේ ඉතා හොඳ වැදගත් සංකල්පයක්. ජනතාව අතරින් ම පිරිසක් එක්වෙලා සමිතියක් සංවිධානයක් වගේ ගොඩනැගිලා තමන්ගේ ම ව්‍යාපාරයක් විදියට පවත්වාගෙන යන සමූපකාර ව්‍යාපාරය මේ රටේ දියුණුවට වර්ධනයට අතීතයේ සිට විශාල දායකත්වයක් ලබා දුන්නා. ගමේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය ආහාර පානාදිය වඩාත් ගුණාත්මකව සහ ලාභදායීව සපයන්න කටයුතු කළේ සමූපකාර ව්‍යාපාරය. අද සමූපකාරය කියන සංකල්පය සමග විශාල ව්‍යාපාර ප්‍රමාණයක් වර්ධනය වෙලා තිබෙනවා. මේ වගේ ඇතැම් සමූපකාර රෝහල් පවා බිහිකරලා. නමුත් ඇතැම් ස්ථානවල සමූපකාර ව්‍යාපාරය විවිධ හේතු නිසා කඩා වැටිලා. මම රජයේ සමූපකාර විෂය භාර අමාත්‍යවරයා ලෙස සමූපකාර ව්‍යාපාරය රැක ගැනීමට කටයුතු කරනවා. මේ ඒ වගේ එක් පියවරක් පමණයි. මේ පළාතේ සමූපකාර අමාත්‍යවරයා හැටියට අපේ හිතවත් ගුණදාස දෙහිගම මැතිතුමා මගෙන් ඉල්ලීමක් කළා මේ ප්‍රදේශයේ ඉන්න කිරිගොවීන්ට තමන්ගේ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය ශීතකරණ ලබාදීමට කටයුතු කරන්න කියා. ඒ අනුව අද අපි තෝරාගත් කිරිගොවීන් සඳහා ශීතකරණ 50ක් රුපියල් ලක්ෂ 35ක වියදමින් ලබා දෙනවා.

අපි මේ වගේ දේවල් කරන්නේ ගමේ ජනතාව නගා සිටුවීමට. සමූපකාරය සමග එක්වෙලා තමන්ගේ කිරි නිෂ්පාදන වඩාත් දියුණු කරන්න. කිරිවලින් යෝගට් හදන්න වගේ දේවල් කරලා ආර්ථිකය වර්ධනය කරගන්න ඒ අයට හැකියාව ලැබෙනවා. එයින් ගමේ ආර්ථිකය, රටේ ආර්ථිකය වර්ධනය වෙනවා. මෙය තමයි අපි කරන්න ඕන. වර්තමානයේ සමූපකාර ක්ෂේත්‍රයේ වැඩි බලයක්, වැඩි වගකීමක් තියෙන්නේ පළාත් සභාවට. නමුත් ප්‍රතිපත්ති සැකසීම ඇතුළු ජාතික තලයේ ක්‍රියාමාර්ග ගන්නේ මගේ අමාත්‍යාංශයෙන්. අපි පසුගිය දිනවල සමූපකාර සේවකයන් සම්බන්ධ ප්‍රතිපත්තිමය තීරණය අරගෙන ඒවා නීතිගත කළා. දැන් අපි සමූපකාරය වඩාත් දියුණු තලයකට නූතන ලෝකයට ගැලපෙන විදියට වර්ධනය කිරීම සඳහා සමූපකාර පනත සංශෝධනය කරන්න කටයුතු කර තිබෙනවා. එ් වගේ ම සියලුම පළාත්වල සමූපකාර ඇමතිවරු සමග මාස තුනකට වතාවක් රැස්වෙලා අවශ්‍ය ප්‍රතිපත්තිමය කාරණා සාකච්ඡා කර තීරණය කරනවා.

මේ අපට ලැබී තිබෙන හොඳ අවස්ථාවක්. හැමදාම දෙපැත්තට වෙලා එකිනෙකාට චෝදනා කරමින් සිටි එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් එක්ව රට පාලනය කරනවා. මෙය ඉතා හොඳ ප්‍රවණතාවක්. ජාතික සමගිය ආරක්ෂා කරමින් රට නිවැරදි මාර්ගයට ගෙන යන්න මේ ජාතික ආණ්ඩුව විශාල මෙහෙවරක් කරනවා. ඒ තුළින් ම සමූපකාර ක්ෂේත්‍රය නගා සිටුවන්න අපට හැකිවේවි කියා දැඩි විශ්වාසයක් තිබෙනවා. “

මෙම අවස්ථාවට වයඹ පළාත් සභාවේ මාර්ග, ප්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළෙඳ අමාත්‍ය ගුණදාස දෙහිගම අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.

7M8A3520 7M8A3551 7M8A3599

Leave a Reply

Your email address will not be published. Required fields are marked *