අම්පාර නගරයේ ව්‍යාපාරික ස්ථානයකට හා ඒ අසළ තිබූ ආගමික ස්ථානයකට පසුගිය 27 දා අලුයම පහර දී අලාභහානි සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණ පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා එදින කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් ඉල්ලීමක් කරනු ලැබීය.

අම්පාර නගරයේ පවත්වාගෙන යන හෝටලයක් සම්බන්ධයෙන් පසුගිය 26 දා කිසියම් පිරිසක් විසින් ගැටුමක් ඇතිකරගෙන තිබුණු අතර මෙම සිද්ධියට සම්බන්ධ බව කියන හෝටලයට පසුගිය 27 දා අලුයම කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඒ අසළ තිබූ ආගමික ස්ථානයකටද පහර දී දේපළ වලටද අලාභහානි කර තිබේ.

මේ අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව කරුණු සොයා බැලීමටත්, පීඩාවට පත්වූවන්ට සහන සැළසීමටත්, නැවතත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇතිවීම වැළැක්වීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුඑ පිරිසක් 28 වැනිදා අම්පාර ප්‍රදේශයේ සංචාරය කළහ.

එහිදී අම්පාර මංගල මහා විහාරයේ විහාරාධිපති ගරු පූජ්‍ය සුහදගම සීලරතන නායක ස්වාමීන්වහන්සේ බැහැ දැකීමට රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ඇතුළු පිරිස කටයුතු කළේය.

අම්පාර නගරයේ මෙවැනි අවාසනාවන්ත සිදුවීම් මින් මතුවට සිදු නොවීමට අන්තර් ආගමික කමිටුවක් පත් කිරිමට පියවර ගත යුතු යැයි අම්පාර මංගල මහා විහාරයේ විහාරාධිපති ගරු පූජ්‍ය සුහදගම සීලරතන නායක ස්වාමීන්වහන්සේ පැවසූහ.

නායක ස්වාමීන්වහන්සේගේ අදහස ඉතා වැදගත් බව පැවසූ අමාත්‍යවරයා ප්‍රදේශයේ බෞද්ධ, හින්දු, ඉස්ලාම්, හා කතෝලික ආගමික නායකයින්ද එකට එකතුවී සර්ව ආගමික කමිටුවක් ලෙස කටයුතු කරමින් ප්‍රදේශයේ සාමය,සමගිය, සහජිවනය ගොඩනැගීමට නායකත්වය ගැනීම ඉතා වැදගත් බවත්, ඒ සඳහා පොලිසියේ හා සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ලබා දිය යුතු බවත් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා කීවේය.

අම්පාර නගරයේ ව්‍යාපාරික ස්ථාන, ආගමික ස්ථානය ඇතුඑ අලාභහානි සිදුවූ දේපොළ අමාත්‍යවරයා ඇතුළු පිරිස නිරීක්ෂණය කළහ. එහිදී අමාත්‍යවරයා ප්‍රදේශයේ මහජනතාවද, හමුවී සිදුවීම පිළිබඳව ඔවුන්ගෙන් කරුණු විමසීය.

ඉන් පසු ආගමික නායකයින් අම්පාර දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානීන්, ඇතුළු සමාජ ක්‍රියාකාරිකයින් රැසකගේ සහභාගීත්වයෙන් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

අම්පාර ඉතිහාසයේ මෙවැනි අවාසනාවන්ත සිද්ධියක් මීට පෙර සිදුවී නොමැති බවත්, ප්‍රදේශයේ ජනතාව සාමකාමීව සාමයෙන් සතුටින් හා සහජීවනයෙන් යුතුව ජීවත්වූ බවත්, මෙම සාමකාමි පරිසරය විනාශ කිරීමට හෝ නීතිය අතට ගෙන කටයුතු කිරීමට කිසිවකුටත් ඉඩ නොදිය යුතු බවත්, මෙවැනි සිද්ධීන්ට සම්බන්ධ පිරිස් වලට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
තිස්වසරක කුරිරු යුද්ධයේ විපාක විඳි සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ගෙවීගිය කාලයේ සාමය උදාවිමත් සමග තම ප්‍රදේශ වල බියෙන් සැකෙන් තොරව සාමකාමීව සහජීවනයෙන් යුතුව ජීවත් වන බවත්, එම සාමකාමී පරිසරය විනාශ කිරීමට කිසිවකුටත් ඉඩ දිය නොහැකි බවත්, අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එකී නොසන්සුන්තාව ඇති වූ අවස්ථාවේ දී තත්ත්වය පාලනය කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්, සහ ආරක්ෂක අංශ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ අමාත්‍යවරයා ප්‍රශංසා කළේය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි, අම්පාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ, විශේෂ කාර්ය බලකායේ අම්පාර දිස්ත්‍රික් ප්‍රධානී අතුල රත්නායක, මහත්වරු ඇතුඑ පිරිසක් සහභාගීවූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *