හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා “ශිල්ප සුරක්ෂා” නමින් රක්ෂණයක් ජාතික ශිල්ප සභාවෙන් හඳුන්වා දී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ 23දා පැවැති ජනාධිපති, හස්ත කර්මාන්ත සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. ජාතික ශිල්ප සභාවෙන් සම්මාන උළෙල සංවිධානය කර තිබිණ. හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ දක්ෂතා අගයමින් “ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන” පිරිනැමීමද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙණි.

අමාත්‍යවරයා මෙසේ ද කීවේය. මෙම රක්ෂණ ක්‍රමය 2019 මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක කරනවා. මෙහි පළමු අදියරේදී හස්ත කර්මාන්ත ශිල්පීන් පන්දහසකට රක්ෂාවරණය පිරිනැමීම නියමිතයි. 2019 වසරේදී රුපියල් ලක්ෂ 70ක් ඒ සඳහා වෙන් කර තිබෙනවා.

දිවයින පුරා හස්ත කර්මාන්ත ශිල්පීන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් සිටිනවා. ඉන් විසි අට දහසක් පමණ ජාතික ශිල්ප සභාවේ හස්ත කර්මාන්ත ශිල්පීන් ලෙස ලියාපදිංචිව සිටිති. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ජාතික රක්ෂණ භාර අරමුදල, පීපල්ස් ඉන්ෂුවරන්ස් ලිමිඩඞ් යන ආයතනවලින් මෙම රක්ෂණාවරණ ලබා දීමට යෝජනා වී තිබෙනවා.

“ශිල්ප සුරක්ෂා” රක්ෂණාවරණය ලබා ගන්නා හස්ත කර්මාන්ත ශිල්පීන්ට හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වීම, ශරීර අංග අහිමිවීම, පූර්ණ අකර්මන්‍යතාවයට පත්වීම යන හේතුන් සඳහා රුපියල් ලක්ෂ පහක් බැගින් වූ වන්දියක්ද, ස්වභාවික මරණයකදී අවමංගල වියදම් ලෙස රුපියල් ලක්ෂයක්, රෝහල් ගතවීමේදී දිනකට රුපියල් 2,500 බැගින් දින 10ක් සඳහා ද, විශේෂ රෝග හතලිහක් සඳහා රුපියල් එක් ලක්ෂ පනස් දහසක්ද, ඇතුළු තවත් රෝග සහ අනතුරු රැසක් සඳහා රක්ෂණ වන්දි දීමට කටයුතු යොදා තිබෙනවා.

හස්ත කර්මාන්ත ශිල්පීන් තම වෘත්තීයේ නියැළීමේදී සිදුවිය හැකි අනතුරු අවධානම කළමණාකරනය කිරීමත් දේශීය සහ විදේශ වෙළෙඳපොළ වෙත නිෂ්පාදන සපයන හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ වෘත්තීය සුරක්ෂිත කිරීම සඳහා මෙම රක්ෂණාවරණය හඳුන්වා දෙනවා. ලියාපදිංචිවී නොමැති හස්ත කර්මාන්ත ශිල්පීන්ට ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි වී රජයෙන් ලැබෙන ප්‍රතිලාභ ගන්නා ලෙසද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉල්ලා සිටී.

දකුණු පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන්, ජාතික ශිල්ප සභාවේ සභාපති හේෂානි බෝගොල්ලාගම යන මහත්ම මහත්මීන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ඇතුලු පිරිසක් සම්මාන උළෙලට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *