කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ඊට සම්බන්ධ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද 2015 පූර්ව අයවැය යෝජනා ලබාගැනීම් වලදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයෙන් ඉහළ මට්ටමේ ප්‍රතිචාර ලැබී ඇතැයි එම අමාත්‍යාංශය පවසයි. එමෙන්ම මීට පෙර වර්ෂ වලට සාපේක්ෂව මෙම යෝජනා ලබාගැනීමේ සාකච්ඡා වටයන් සඳහා බහුතර සහභාගීත්වයක් තිබූ බවද වාර්තා වේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුව, රජයේ අයවැය වාර්තාව සකස් කිරීමට ප්‍රථමයෙන් ඒ සඳහා පෞද්ගලික අංශයේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගැනීමේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කළ අතර, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් මෙය සංවිධානය කරන ලදී.
මෙම වසරේ ජූලි – අගෝස්තු මාසයන්හිදී අදාල හමුවීම් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි. මේ යටතේ දිවයින පුරා විසිරී සිටින ව්‍යවසායකයන්, ව්‍යවසාය සංවිධාන, වාණිජ මණ්ඩල ඇතුළු රේඛීය ආයතන හරහා අදහස් විමසල ලද අතර, සුළු හා මධ්‍ය පරිමාණ අංශය නියෝජනය කළ ව්‍යවසායකයන් හා සංවිධාන හරහා වැඩි යෝජනා ප්‍රමාණයක් ලැබී ඇත. සුළු හා මධ්‍ය පරිමාණ අංශය නියෝජනය කරමින් ආයතන හා සංවිධාන 40 ක් පමණ මෙම පූර්ව අයවැය යෝජනා ලබාගැනීමේ හමු සඳහා සහභාගී වී තිබූ අතර, මින් අටක්ම (08) කාන්තා ව්‍යවසායිකාවන් වීම විශේෂත්වයකි.          ලද යෝජනා සියල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව තෝරාගත් ථලදායී යෝජනා 35 ක් වෙත අවධානය යොමුකරමින් 2015 ජාතික අයවැය ලේඛණයට ඇතුළත් කිරීම සඳහා සලකා බැලීමට භාණ්ඩාගාරය වෙත මේ වන විට යොමුකර ඇත.
මේ අනුව ඉදිරියේදී එළිදැක්වීමට නියමිත, 2015 මෙවර අයවැය ලේඛණය, කර්මාන්ත අංශයේ දියුණුව සඳහාත්, විශේෂයෙන් ආර්ථිකයේ කොඳු නාරටිය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ ප්‍රවර්ධනයත් වෙනුවෙන් ථලදායී වැඩසටහන් හා ක්‍රියාමාර්ග ඇතුළත් එකක් වනු ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා විශ්වාසය පළකළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *