පොලිතීන් භාවිතය තහනම් කිරීමෙන් රටට යහපතක් වන බවත්, පොලිතීන් තහනමෙන් පොලිතීන් කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටළු රජයට යොමු කර විසඳුමක් දීමට කටයුතු කරනවා යැයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා

අමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේ පොලිතීන් කර්මාන්තකරුවන් පිරිසක් සමග 08 වැනිදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැති හමුවකදීය. රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත පොලිතීන් සහ ප්ලාස්ටික් තහනම සම්බන්දයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණ විය.

මෙරට බහුලව භාවිතා කරන, පොලිතීන් වර්ග කිහිපයක් (HDPE) පූර්ව දැනුම්දීමකින් තොරව සීමිත කාලයක් ලබා දී විකිණීම තහනම් කිරීමෙන් මේ කර්මාන්තය නිසා යැපෙන පවුල් තුන් ලක්ෂ හතලිස්පන්දහසක් (345000) පමණ පිරිසක් පීඩාවට පත්වන බව පොලිතීන් කර්මාන්තකරුවෝ අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දැක්වු සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයින්ගේ සහ ප්‍රතිචක්ක්‍රීකරණය කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා මෙසේ කීවේය

පොලිතීන් නිෂ්පාදනය  කර්මාන්තකරුවන් දහසක පමණ පිරිසක් සිටිනවා. ඒ වගේම පොලිතීන් හා සම්බන්ධ සෘජු රැකියා හතලිස් පන් දහසක් සහ වක්‍ර රැකියා අවස්ථා ලක්ෂ තුනක් පමණ ඇතිවී තිබෙනවා හදිසියේම පොලිතීන් නිෂ්පාදනය තහනම් කළොත් මොවුන්ගෙන් යැපෙන පවුල් ලක්ෂ තුනක් විතර අසරණ වෙනවා.

අපි රජයෙන් ඉල්ලා සිටින්නේ පරිසර හිතකාමී දෙයක් වෙනුවෙන් අපිට යොමුවීමට කාලයක් ලබාදෙන්න. අපි පොලිතින් තහනම් කරනවාට විරුද්ධ නෑ. ඒ සඳහා අපට කාලයක් අවශ්‍යයි. මේ පොලිතීන් තහනමත් සමග මෙරටින් අපනයනය කරන භාණ්ඩ ඇසුරුම් මිල ඉහළ යා හැකියි. එසේ වුවහොත් මෙරට අපනයන ව්‍යාපාරවලට දැඩි බලපෑමක් විය හැකියි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ කීවේය. පොලිතීන් භාවිතය නිසා පරිසරයට සිදුවන අති  මහත් හානිය සලකා රජය විසින් පොලිතීන් භාවිතය තහනම් කිරීම යහපත් ක්‍රියාවක් බවයි. එසේ වුවද පොලිතීන් කර්මාන්තකරුවන්ගේ ගැටළු සම්බන්ධයෙන්, හා ඔවුන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කිරීමට කටයුතු කරනවා. මේ ගැන එළඹෙන සිකුරාදා (11) පැවැත්වීමට නියමිත, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන කැබිනට් කමිටුවට කරුණු ඉදිරිපත් කරනවා. කර්මාන්ත කේෂ්ත්‍රයේ පිරිස් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් විෂය බාර ඇමතිවරයා ලෙස තමන් නිරතුරු විමසිල්ලෙන් බවද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කීවේය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *