කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පසුගියදා (මාර්තු 05) සපුගස්කන්ද, ගෝනවල පිහිටි, පල්සස් ස්ප්ලිටින්ග් ඇන්ඩ් ප්‍රොසෙසින් ඉන්ඩස්ට්‍රී සමාගමට (Pulses Splitting & Processing Industry Ltd.) අයත්, ලෝකයේ විශාලතම රතු පරිප්පු ශුද්ධාගාරයේ වත්මන් තත්වය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්විණි.
 ශ්‍රී ලංකාවට ආනයනය කරන්නාවූ ශුද්ධ කරන ලද පරිප්පු සදහා පෙබරවාරි මස සිට ආනයනික බදු සහන ලබාදීමට භාණ්ඩාගාරය තීරණය කළ අතර, එම සහනය ශුද්ධ නොකරන ලද පරිප්පු සදහා ලබා නොදීම තුළ උද්ගතව ඇති ගැටඵ සදහා විසදුම් ලබාදීම කර්මාන්ත අමාත්‍යවරයාගේ චාරිකාවේ අරමුණයි.
කර්මාන්ත අමාත්‍යාංශයේ සහයෝගය මත, ඇමරිකානු ඩොලර් මිලියන 948 ක ආයෝජනයකින් 2007 වසරේ ස්ථාපිත කරන ලද මෙම සමාගම, දේශීය රතු පරිප්පු අවශ්‍යතාවයෙන් 55% ක් සපුරාලයි. මෙහි රතු පරිප්පු පිරිපහදු ධාරිතාවය මසකට ටොන් 4000 කි. ආනයනික පියලි නොකළ, නිව්ඩු සහිත පරිප්පු යොදාගනිමින්, ඉතා උසස් තත්වයේ රතු පරිප්පු නිෂ්පාදනය කර, දේශීය හා ජාත්‍යන්තර වෙළද පොළට සපයන මෙම සමාගම, දේශීය වෙළද පොළ තුළ පරිප්පු හිගයක් ඇති නොවීම සදහා මාස තුනක ආරක්ෂිත තොග පවත්වා ගෙන යනු ලබයි. ආහාරයට යොදාගන්නා ධාන්‍ය වර්ග පිරිපහදු කිරීමේ තාක්ෂණය සම්බන්ධයෙන් හදාරන ඇමරිකානු, ඕස්ට්‍රේලියා හා කැනඩා විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යයනයන් සදහාද නිරන්තරයෙන් පාදක වන මෙම කර්මාන්ත පරිශ්‍රය, ලොව ධාන්‍ය පිරිපහදු කර්මාන්ත ශාලා අතුරින් ඉහළ තාක්ෂණයෙන් යුතුව පවත්වා ගෙන යනු ලබන්නකි.
 Parippu 03
උද්ගතව ඇති වත්මන් තත්වය තුළ තම කර්මාන්තය මුහුණ පා ඇති තත්වය පිළිබද අමාත්‍යවරයාට පැහැදිළි කරමින් පල්සස් ස්ප්ලිටින්ග් සමාගමේ සභාපති, ආචාර්ය, ඒ.සී.සලීම් මහතා පැවසුවේ, මෙම බදු විෂමතාවය හේතුවෙන් තමා වැනි නිෂ්පාදකයන්ගේ රතු පරිප්පු වලට ඇති දේශීය මිළ ඉහළ ගොස්, වෙළද පොළ කඩාවැටීමේ අවදානමක් පවතින බවයි. තවද දේශීය අවශ්‍යතාවය සැපිරීමෙන් අනතුරුව අතිරික්ත තොග අපනයනයෙන් පසුගිය වසර හත තුළ රුපියල් බිලියන 11.7 ක විදේශ විනිමයක් රටට උපයා දීමට සමත්වූ බවද සදහන් කළ හෙතෙම, මෙවැනි කර්මාන්ත තුළින් ආර්ථිකයට වන දායකත්වය සලකා සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින ලදී. එමෙන්ම, ‍ලොව විශාලතම ධාන්‍ය ශුද්ධාගාරය ස්ථාපිත කිරීමට තම සමාගමට සහාය දුන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයටත්, රජයටත් සිය ස්තුතිය පිරිනමන බවද සලීම් මහතා පැවසිය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය, බදියුදීන් මහතා, ඉතා කෙටි කලක් තුළ මෙම කර්මාන්තය උසස් මට්ටමකට ගෙන එමින්ද, සේවක සේවිකාවන් 300 කට අධික පිරිසකට රැකියා සපයමින්ද, රටේ ආර්ථිකයට දක්වන දායකත්වය වෙනුවෙන්ද සිය ස්තුතිය පිරිනමන බැව් පැවසීය. තවද හදිසි අවශ්‍යතාවයක් සේ සලකා, බදු සම්බන්ධව ක්‍රියාත්මක වන රේඛීය ආයතන හා බලධාරීන් වහා දැනුවත් කොට, මෙම ගැටඵවට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා සිය නිලධාරීන්හට උපදෙස් ලබාදෙන ලදී.
 Parippu 02
සහල් හැරුණු විට, ශ්‍රී ලංකාව තුළ පරිභෝජනය කරන වැදගත්ම ධාන්‍ය වර්ගය වන්නේ පරිප්පු වන අතර, මෙය අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ දර්ශකයේ ඉහළින්ම පවතින්නකි.
පාරිභෝගික ජනතාවට දෛනිකව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් සපයන කර්මාන්ත ක්ෂේත්‍රයක් තුළ ඇතිවිය හැකි අවදානම් තත්වයන් සැලකිල්ලට ගනිමින්ද, එය සමනය කිරීම උදෙසාද, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මේ වන විට, අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *