සාමුහිකත්වයෙන් බොහෝ දේ ජයග්‍රහණය කළ හැකියි. සිහිනයක් වී තිබුණ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනය අපි සැබෑවක් කළා යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේ හෝමාගම දියගම මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධිත තාක්ෂණ ආයතනයේ ශ්‍රවණාගාරය “ආචාර්යය ටී.ඒ.ජී ගුණසේකර ශ්‍රවණාගාරය” ලෙස නම් කිරීමේ උත්සවයට එක්වෙමිනි. එම උත්සවය ජාතික තාක්ෂණ ආයතනයේ ශ්‍රවණාගාරයේ දී 12 වෙනිදා පැවැත්විණි.

මොරටුව විශ්වවිද්‍යාලයේ ජාතික තාක්ෂණ ආයතනය, හෝමාගම දියගම ප්‍රදේශයේ අලුතින් ඉදි කිරීමට පුරෝගාමී මෙහෙවරක් කළ ආචාර්ය ටී.ඒ.ජී.ගුණසේකර මහතාගේ නමින් එහි නවීනතම පහසුකම්වලින් යුතුව ඉදිකළ අංග සම්පූර්ණ ශ්‍රවණාගාරය ආචාර්ය ටී.ඒ.ජී.ගුණසේකර මහතාගේ නමින් නම් කිරීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෝමාගමදී පැවැත්විණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීවේය. මමත් මේ ආයතනයේ ආදි ශිෂයෙක්. මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනය ඉදි කිරීම සිහිනයක් වෙලා තිබුණා. ආචාර්යය ටීඒජී ගුණසේකර මහතාගේ මැදිහත්වීමෙන් මෙහි වැඩ කටයුතු ආරම්භ කරන්න හැකිවුණා. පසුගිය රජයේ ඉදපු බැසිල් ඇමතිතුමා සමග මා සාකච්ඡා කළා තාක්ෂණ ආයතනය ස්ථාපිත කිරීම පිළිබඳව. එතුමාගෙන් විශාල දායකත්වයක් ලැබුණා. මෙහි සැලසුම් සකස් කළේ ටී.ඒ.ජී ගුණසේකර මහතා. එතුමා මේ සම්බන්දයෙන් පරිණත පුද්ගලයෙක්.

වසර දෙකක් වැනි කාලයක දී මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කරන්න පුලුවන් වුණා. අපේ කැපවීම අද වන විට ඵලදායී සමාජ මෙහෙවරක් බවට පත්වෙලා තියෙනවා. එය සතුටට කරුණක්. මේ ආයතනය ඉදිකිරීම සඳහා කැපවූ සියලු දෙනාට ම ස්තුති කරනවා. මේ ආයතනය දියුණු කිරීම සඳහා ටී.ඒජී ගුණසේකර මහතා විශාල කැපකිරීමක් කරනවා. එතුමා දැනටත් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙස මිල කළ නොහැකි සේවාවක් කරනවා.

මෙම අවස්ථාවට ආදි ශිෂ්‍යයෙකු වූ වත්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, මොරටුව විශ්වවිද්‍යාලයේ උසස් නිලධාරීන් සහ ආදිශිෂ්‍යයන් විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *