අම්පාර උක්ගොවි ජනතාවගේ ගැටළු කඩිනමින් විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ 09 වැනිදා සවස ස.තො.ස. මහා ලේකම් කර්යාල පරිශ්‍රයේදී, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ප්‍රමුඛ, නිලධාරී මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවකදී ය.

මෙම උක්ගොවි ජනතාවගේ ගැටලු මගේ ගැටලුවක් ලෙස සලකා විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පැවසීය.

අම්පාර සෙවනගල, පැලවත්ත සහ හිඟුරාන උක්ගොවි ජනතාව තම ගැටළුවලට විසඳුම් ඉල්ලා දින 81 ක් උද්ඝෝෂණයේ නිරත විය. තමා මුහුණපාන ගැටලු 10 කට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා 2017 ඔක්තෝම්බර් 17 වැනි දාතමින් ගරු ජනාධිපතිතුමාට ලිපියක් යවා ඇති අතර, එහි පිටපතක් රිෂාඞ් බදියුදීන් ඇමතිතුමාට ද යොමු කළ බව සඳහන්ව තිබේ. නමුත් මෙහිදී අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා ප්‍රකාශ කර සිටියේ මේ මොහොතේ තමන් වෙත ඉදිරිපත් කළ ලිපිය හැරුණු විට කිසිදු ලිපියක් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් නොලැබුණු බවයි.

මෙහිදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා, අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට සිය ගැටලු සඳහන් ලිපිය ඉදිරිපත් කරනු ලැබීය. එහි උක්ගොවි ජනතාවගේ ඉල්ලීම් 10 ක් අඩංගු විය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා මෙසේද පැවසීය. ”ඕනෑම ගැටළුක් සාකච්ඡා කිරීමෙන් හා හොඳින් ඇහුම්කන් දීමෙන් විසඳා ගැනීමට පුළුවන්. මම සෑම විටම සාකච්ඡාවෙන්, සම්මුතියෙන් ගැටළු විසඳීමට කැමතියි. ඇත්තටම ඔබ අද ඉදිරිපත් කරන මේ ගැටලුවලින් සමහරක් මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන් හා ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරලා විසඳුම් ලබා දීමට පුළුවන්. ඒ නිසා මගේ අමාත්‍යාංශය මෙහෙය වීමෙන් ඉතාමත් ඉක්මනින් ඔබගේ සියලුම ගැටලුවලට සතුටුදායක විසඳුම් ලබා දෙනවා. ඔබගේ පළමු ගැටලුව වන උක් ටොන් 01 කට රු.8500.00 ක මිලක් ලබා දීම සඳහා මුදල් ඇමතිතුමා සමඟ සාකච්ඡා කර පියවර ගත යුතු වෙනවා. ඒ සඳහා අපි කඩිනමින් පියවර ගන්නවා. ඒ වගේම උක් වගා කරන ඉඩමේ අයිතිය උක් ගොවියා වෙත ලබා දීමට අවශ්‍ය වැඩ පිළිවෙළක් සකස් කිරීම මහවැලි අධිකාරිය, ඉඩම් කොමසාරිස්තුමා, දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා. ඒ වගේම ඔබගේ අනෙකුත් ගැටළු වන උක් වගාව සඳහා පොහොර සහනාධාර ලබා දීම ඇතුළු අනෙකුත් සියලුම ගැටළුවලට මාගේ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අදාළ අංශ සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා දීමට මම පියවර ගන්නවා” යැයි පැවසීය.

සමස්ත ලංකා ගොවි සම්මේලනය විසින් ඉදිරිපත් කරන ලද ගොවි ජනතාවගේ ඉල්ලීම් 10 මෙසේය.
1. උක් ටොන් 01 ක මිල රු. 8500.00 ක් කිරීම.
2. උක් වගා කරන ඉඩමේ අයිතිය ගොවියා වෙත ලබා දීම.
3. උක් වගාව සඳහා ද පොහොර සහනාධාරය ලබා ගැනීම.
4. ආයතනය විසින් ලබා දෙන ණය පහසුකම් සඳහා අය කරන අසාධාරණ පොළිය ඉවත් කිරීම.
5. ප්‍රමිතියෙන් යුතු බීජ ලබා ගැනීම සහ ප්‍රමිතියෙන් යුතු නොවන බීජ වලින් සිදු කරන වගා හානියට, වසංගත රෝග හා බරපතල ස්වාභාවික විපත්වලදී ගොවියාට වන්දි ලබා දීම.6. අස්වනු නෙලීමේදී සමාගමේ ප්‍රමාදය නිසා සිදුවන පාඩුවට වන්දි ලබා ගැනීම.
7. කර්මාන්ත ශාලාවේ දුමත් සමග පිටවන අපද්‍රව්‍ය නිසා සිදුවෙමින් පවතින පරිසර හා සෞඛ්‍ය ගැටළු විසඳීමට පියවර ගැනීම.
8. කර්මාන්ත ශාලාවේ සේවය කරන සියලුම සේවකයින්ට ජීවත් වීමට සරිලන වැටුපක් හා අනෙකුත් දීමනා ලබා දීම.
9. ස්ථීර නොවන සේවකයින් ස්ථීර කිරීම.
10. ගොවියා හා සමාගම අතර ද්වීපාර්ශවීය සමබර ගිවිසුමක් වහා ඇති කර ගැනීම.

මෙහිදී අමාත්‍යවරයා උක්ගොවියන්ගේ ගැටලු 10 ටම, ඊට අදාල අංශ සමඟ වහාම සාකච්ඡා කර විසඳුම් ලබා දෙන ලෙස අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය. එසේම එම සියලුම ගැටලු විසඳා ගැනීමේ ක්‍රියාවලියේදී සමස්ත ලංකා ගොවි සම්මේලනයේ හා උක්ගොවි ජනතාවගේ පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසත්, ඒසේම සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමට කාර්යක්ෂමව හා ඵලදායීව සයෝගය ලබා දෙන ලෙසද ඇමතිවරයා උක්ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න, උක්ගොවි සංගම් එකමුතුවේ කැඳවුම්කරු වසන්ත පියතිස්ස ඇතුළු නියෝජිතයින් ද, අමාත්‍යාංශය වෙනුවෙන් අතිරේක ලේකම් (ප්‍රතිපත්ති හා සංවර්ධන) කේ. පියරත්න, ලංකා සීනි සමාගමේ සභාපති නවීන් අදිකාරම්, අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ඉර්ෂාඞ් රහමතුල්ලා යන මහත්ම මහත්මීන් ද සහභාගී විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *