මෙම අප්‍රේල් මාසයේ සිට යළිත් වරක් අමෙරිකානු GSP බදු සහනය ශ්‍රී ලංකීය අපනයනකරුවන්ට විවෘත වන බව, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන හා දත්තවලට අනුව, අප අමෙරිකාවට කරනු ලබන අපනයන ප්‍රමාණය ප්‍රථමවරට ඩොලර් බිලියන 03 ක් දක්වා වැඩි වී තිබීම වාර්තා වී ඇති බවයි, ඔහු ප්‍රකාශ කරන්නේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.

“මේ ආකාරයට GSP බදු සහනය නැවත වරක් අලුත් කිරීම තුළින්, ශ්‍රි ලංකා රජයට සහාය දැක්වීම පිළිබඳ අප ඇමරිකා එක්සත් ජනපද රජයට පළමුවෙන්ම ස්තූතිවන්ත වෙනවා.ඇමරිකානු රජයේ මෙම මුලපිරීම, ලෝකයේ විශාලතම වෙළෙඳ හවුල්කරුවා සමඟ පවතින සබඳතාව ශක්තිමත් කිරීම සහ ඒ තුළින් අපේ අපනයනකරුවන්ට පමණක් නොව ඇමරිකානු අපනයනකරුවන් සහ ඇමරිකානු පාරිභෝගිකයින් සමඟ ඉතා ශක්තිමත් සබඳතාවක් ගොඩනැගීම සඳහා පිටුවහලක් වෙනවා. ඇමරිකාව ශ්‍රි ලංකාවේ ප්‍රධාන අපනයන ගැණුම්කරුවා වන අතර, එම අපනයන ප්‍රමාණය පසුගිය වසරේදී පෙරමුණ ගත්තා. අප පසුගිය වසරේදී ඇමරිකාවට සිදු කළ මුළු අපනයන ප්‍රමාණයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 2.9 සිට 3 (2.9- 3.0 Billion US Dollar) දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 2016 වසරට සාපේක්ෂව බලන කළ සියයට 3.65% ක වර්ධනයක් වෙනවා. ඒ වගේම පසුගිය වසරේදී අපගේ නිෂ්පාදන මිළ දී ගත් දෙවන විශාලතම ගැණුම්කරුවා වූයේ එක්සත් රාජධානිය යි. අප එක්සත් රාජධානයිට කරන ලද මුළු අපනයන වටිනාකම ඩොලර් බිලියන 1.03 (1.03 Billion US Dollar) ක් වන අතර, අපේ තෙවන ගැණුම්කරුවා වන ඉන්දියාව ඩොලර් මිලියන 689 ( 689 Million US Dollar) ක අපනයන නිෂ්පාදන මිළ දී ගෙන තිබෙනවා. අපේ ප්‍රධානතම අපනයන වර්ගය වන ඇඟළුම්වලින් අපි වාර්ෂිකව සියයට 70 – 75% ක් අතර ප්‍රමාණයක් අපනයනය කරන්නේ ඇමරිකාවටයි. 2016 වසරේදී පමණක් ශ්‍රි ලංකා ඇමරිකානු ආනයන – අපනයන වෙළෙඳ ගණුදෙනුවල වටිනාකම ඩොලර් බිලියන 3.3 ( 3.3 Billion US Dollar) ක් වෙනවා.

මේ වන විට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රතිලාභී රටවල් 120 ක් සදහා GSP බදු සහනය ලබා දීමට අවසර ලබා දී තිබෙනවා. මෙම දියුණු වෙමින් පවතින රටවල් 120 ක නිෂ්පාදන 5000 ක පමණ ප්‍රමාණයකට, මෙම බදු සහනය අපනයනයේදී හිමිවෙනවා. මෙම GSP බදු සහනය යළිත් වරක් මේ අප්‍රෙල් 22 සිට ක්‍රියාත්මක කෙරෙන බව අපව දැනුවත් කරලා තියෙනවා.” යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *