මෙම වසරේ මුල් කාර්තුවේදී 16% ක අපනයන වර්ධනයක් පෙන්නුම් කරන අතර, එයින් මෙම මාර්තු මස පමණක් ගත්කළ 27% ක වර්ධනයක් දක්නට ලැබෙන බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
 අමාත්‍යවරයා මෙම තොරතුරු හෙළිකරනු ලැබුවේ, අපනයනයන්හි වත්මන් ප්‍රගතිය හා ක්ෂේත්‍රෙය් ප්‍රවර්ධනයට අදාල උපාය මාර්ග පිළිබද තම ඉහළ කළමණාකාරීත්වය හා පසුගියදා (මැයි 09) පැවති සාකච්ඡා වාරයකදීය.
මෙහිදී අමාත්‍ය, බදියුදීන් මහතා තවදුරටත් කියා සිටියේ, යාවකාලික දත්ත අනුව, 2014 ජනවාරි සිට මාර්තු දක්වා සිදුකළ සමස්ථ අපනයන අගය ඩොලර් බිලියන 2.8 ක් වන බවයි. 2013 වසරේ එම කාලය තුළ සිදුකළ සමස්ථ අපනයන අගය ඩොලර් බිලියන 2.36 ක් වූ බවද, ඒ අනුව පසුගිය වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ අපනයන වර්ධනය 15.7% ක් බවද ඒ මහතා සදහන් කළේය.
 අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ, 2014 වසරේ අපනයන වර්ධනය සදහා කෘෂිකර්ම, කාර්මික හා මත්ස්‍ය නිෂ්පාදන බෙහෙවින් ඉවහල් වූ බවයි.
 export new statistic 01
යාවකාලික අපනයන දත්ත අනුව, 2014 වසරේ මුල් කාර්තුව පිළිබදව අවධානය යොමු කිරීමේදී මත්ස්‍ය අපනයන ආදායම ඩොලර් මිලියන 71 ක් වූ අතර, එය පසුගිය වසරේ එම කාල පරිච්ඡේදය හා සැසදීමේදී 23% ක ඉහළ යාමකි. මෙම කාලසීමාව තුළ කෘෂිකාර්මික නිෂ්පාදන හරහා ලැබූ සමස්ථ ආදායම ඩොලර් මිලියන 635.24 ක්ද, කාර්මික නිෂ්පාදන හරහා ලැබූ ආදායම, ඩොලර් මිලියන 2086 ක්ද විය. මෙය පිළිවෙලින් 21% ක හා 18% ක වර්ධනයකි. කාර්මික අපනයන ආදායමේ වැඩි නියෝජනය ඇගලුම් අපනයන හරහා සපුරා තිබූ අතර, එය ඩොලර් මිලියන 1257 ක් ලෙස වාර්තා විය. 2013 මුල් කාර්තුවේ ඇගලුම් අපනයනය හා සැසදීමේදී මෙය 20% ක වර්ධනයකි. තවද කෘෂිකාර්මික නිෂ්පාදන අපනයන ආදායම ගත්කළ, පොල් ආශ්‍රිත අපනයන 68% කින් වර්ධනය වී ඩොලර් මිලියන 125 ක් වාර්තා තර තිබිණි. එමෙන්ම තේ අපනයන ආදායම ඩොලර් මිලියන 383 ක් වූ අතර, මෙය 16% ක වර්ධනයකි.
2014 මුල් කාර්තුව තුළ අපනයන වර්ධනය සදහා දායක වූ සෙසු ක්ෂේත්‍ර වනුයේ සැකසූ ආහාර, සම්භාණ්ඩ, රබර් හා කඩදාසි කර්මාන්ත නිෂ්පාදනයන්ය. මෙම නිපැයුම් අපනයන හරහා ලැබූ සමස්ථ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 646 ක් වූ අතර, 2013 මුල් කාර්තුවට සාපේක්ෂව මෙහි වර්ධනය 27% කි. වර්ග නොකළ සෙසු අපනයනයන් හරහා ඩොලර් මිලියන 11 ක් උපයා තිබූ අතර, එහි වර්ධනය 44% ක් වේ.
2014 වසරේ මාර්තු මාසයට අදාල යාවකාලික අපනයන අගය පමණක් සැලකූ විට, මෙම වසරේම පෙබරවාරි මාසයට සාපේක්ෂව අපනයන අංශ රැසක ප්‍රගමනයක් දැකිය හැකි අතර, කාර්මික නිෂ්පාදන අංශය මෙහිලා ප්‍රධාන ස්ථානයක් හිමිකරගෙන සිටී. ඒ අනුව, මාර්තු මස තුළ ලබා තිබූ සමස්ථ අපනයන ආදායම (යාවකාලික) ඩොලර් බිලියන 1.06 ක් ලෙස සටහන් වී තිබිණි. මාර්තු මාසයේ අපනයන වර්ධනයට ඉවහල් වූ භාණ්ඩ ප්‍රභේදය වන්නේ නිමි අපනයනයන් ය. 2014 පෙබරවාරි මාසයේ සටහන් වී තිබූ අපනයන ආදායම වූ ඩොලර් මිලියන 841 හා සැසදීමේදී මෙය 27 % ක වර්ධනයකි.
තවද 2014 මාර්තු මස සමස්ථ අපනයන ආදායමින් ඩොලර් මිලියන 154 ක් තේ වලින්ද, ඩොලර් මිලියන 454.54 ක් ඇගලුම් වලින්ද, ඩොලර් මිලියන 784 ක් කාර්මික නිෂ්පාදන අපනයනයෙන්ද ලැබූ අතර, මෙම වසරේ පෙබරවාරි මසට සාපේක්ෂව එම ක්ෂේත්‍රයන්හි වර්ධනය පිළිවෙලින් 34% ක්, 16% ක් හා 26% කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *