වාර්ෂිකව අප ඇමරිකානු ඩොලර් මිලියන 400 ක (රුපියල් මිලියන 64,400 ක) මුදලක් කිරිපිටි ආනයනය සඳහා වැය කරන බවත්, දුම්කොළ වගාව හා ආනයනය සඳහා අප වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 660 ක් (රුපියල් මිලියන 106,260 ක්) වැය කරන බවත්, දුම්කොළ භාවිතය නිසා ජනතාවගේ සෞඛ්‍ය පිරිහෙන බවත්, 2020 වන විට දුම්කොළ වගාව හා ආනයනය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙන බැවින් දුම්කොළ ගොවීන් සදහා විකල්ප  භෝග වගාවන් හදුන්වා දියයුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ රමාඩා හෝටලයේ පැවති “යෝජිත දුම්කොළ වගා තහනම් සහ වෙනත් භෝග වෙත යොමු වීමේ අවස්ථා ගොවීන්ගේ ඇසින්”නැමැති දුම්කොළ වගාව ආශ්‍රිත පර්යේෂණ වාර්තාව නිකුත් කිරීමේ උත්සවයේදී ය. මෙම පර්යේෂණ වාර්තාව සම්පාදනය කර ඇත්තේ වෛද්‍ය  චතුර රොද්‍රිගෝ මහතාය. ඔහු මෙම වාර්තාවේ පිටපතක් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට පිළිගැන්වීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ ද පැවසීය.

“2020 දී ශ්‍රී ලංකාවේ දුම්කොළ වගාව වගේම දුම්කොළ හා දුම්වැටි ආනයනයද තහනම් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. මේ දුම්කොළ නිසා දිනකට මිනිස් ජීවිත 33 ක් පමණ අපට අහිමි වෙලා යනවා. අපේ රටේ මිලියන 02 කට වැඩි පිරිසක් සෑම දිනකම දුම්කොළ පරිභෝජනයට පෙළඹී සිටිනවා. මේ සඳහා අපි දිනකට රුපියල් මිලියන 200 කට වැඩි මුදලක් වැය කරන බව වාර්තා වෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව 2015 වසරේදී ශ්‍රී ලංකාවේ දුම්වැටි පරිභෝජනය සඳහා සෘජුව හා වක්‍රව වැය කළ මුදල රුපියල් බිලියන 106 ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 662 ක් වූ බව ඇස්තමේන්තු කරලා තියෙනවා. ඒ වගේම අපි වාර්ෂිකව ඩොලර් මිලියන 660 ක් හෙවත් රුපියල් මිලියන 106,260 ක් හෙවත් කෝටි 10,626 ක් දුම්කොළ භාවිතයේ ප්‍රතිඵල නිසා ඇතිවන රෝගවලට, ඖෂධ හා ප්‍රතිකර්ම සඳහා වැයකරනවා. එම නිසා මෙම පර්යේෂණ වාර්තාව අපට ඉතා වැදගත් වෙනවා. මේ වාර්තාව පිළියෙල කරලා තියෙන්නේ, දුම්කොළ වගා කරන ගොවීන්ගේ අදහස්ද එකතු කරලා, දුම්කොළ වෙනුවට විකල්ප භෝග වර්ග වගා කිරීමට යොමු වන්නේ කෙසේද යන්න අවධාරණය කිරීමටයි. මෙහිදී අපි අවබෝධ කර ගත යුත්තේ දුම්කොළ වගාව සඳහාත්, භාවිතය සඳහාත්, ආනයනය සඳහාත් අපි වැය කරන විශාල මුදල ගැන සළකා බලන විට අපේ රජය ඉතාමත් ඥාන්විත පියවරක් තමයි මේ වන විටත් අරන් තියෙන්නේ. අපි කිරිපිටි ආනයනයට වසරකට වැයකරන මුදලට වඩා සියයට 55 % කින් පමණ වැඩි වියදමක් දුම්කොළ භාවිතයට හා ආනයනයට වැය කරනවා.

ඒ වගේම වාර්ෂිකව අපි දුම්කොළ සඳහා වැයකරන වියදම 2015 දී හා 2016 දී මෙරට ඇති වූ ගංවතුර සහ නායයෑම් ආපදා සඳහා වැය වූ මුදලට සමාන වෙනවා. මෙයින් පැහැදිලි වන්නේ මේ දුම්කොළ භාවිතය නිසා අපගේ ආර්ථිකයට බලපා තිබෙන අහිතකර තත්ත්වයයි. එම නිසා අපේ රජය උත්සාහ කරන්නේ දුම්කොළ ආශ්‍රිතව සකස් වී තිබෙන ආර්ථික ක්‍රමය වඩාත් ඵලදායී ජීවනෝපාය ක්‍රමයක් වෙත යොමු කරමින් විකල්ප භෝග වගාවන් වෙත දුම්කොළ ගොවි ජනතාව පරිවර්ථනය කිරීමයි. අපට වාර්තා වී ඇති අන්දමට මෙරට දුම්කොළ නිෂ්පාදනය වසරකට ටොන් 3,300 ක් පමණ වෙනවා. මේ සඳහා කෘෂිකාර්මික ඉඩකඩම්වලින් සියයට 0.07% ක් දුම්කොළ වගාව සඳහා වෙන් වෙනවා.” යැයි පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *