තුර්කියේ උසුම්සු ටිබි සිහාස් (Üzümcü Tıbbi Cihaz) සමාගමේ අලෙවි කළමණාකාර, තුගෘල් කරගුල්ලේ (Tugrul Karagulle) මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්යක, රිෂාඩ් බදියුදීන් මහතා හමුවූ අවස්ථාව. ඡායාරූපය - දමිත් ජයසිංහ (කර්මාන්ත අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය)
නැනෝ තාක්ෂණයෙන් යුතු ශල්‍යාගාර උපකරණ ශ්‍රී ලංකාවට හඳුන්වාදීම හා ඉන් සමන්විත නව රෝහලක්  මෙරට තුළ ස්ථාපිත කිරීමට ජාත්‍යන්තර සන්නාමයකින් යුතු තුර්කි සමාගමක් කැමැත්ත පළකොට තිබේ. මේ සඳහා ඉදිරිපත්ව ඇත්තේ උසුම්සු ටිබි සිහාස් (Üzümcü Tıbbi Cihaz) නම් තුර්කි සමාගමකි.
 මෙම තොරතුරු අනාවරණය වූයේ, පසුගියදා මෙරටට පැමිණි එම සමාගමේ අලෙවි කළමණාකාර, තුගෘල් කරගුල්ලේ (Tugrul Karagulle) මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා සමඟ පැවති හමුවකදීය. මෙම හමුව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
turky 01
තුර්කි දූත පිරිස විසින් තම සමාගමේ ආයෝජනයන් පිළිබදව අමාත්‍යවරයා දැනුවත් කළ අවස්ථාව. ඡායාරූප – දමිත් ජයසිංහ
මෙහිදී අදහස් දැක්වූ කරගුල්ලේ මහතා කියා සිටියේ, අධිතාක්ෂණික හා සාමාන්‍ය තත්වයෙන් යුතු තම සමාගමේ ශල්‍යාගාර උපකරණ යුරෝපා සංගමයේ ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කර ඇති බවයි. එමෙන්ම ලෝකයේ විවිධ රටවල්හි රෝහල් වල ශල්‍යාගාර උපකරණ ස්ථාපිත කිරීම හා පැරණි ඒවා වෙනුවට නව උපකරණ ආදේශ කිරීම අතින් තම සමාගමට 1969 වසරේ සිට අත්දැකීම් පවතින බවද ඒ මහතා පැවසීය. මැදපෙරදිග, අප්‍රිකානු රටවල හා රුසියාවේද තම සමාගමේ නිෂ්පාදන වෙළඳ නාමය (Brand) ඉතා ජනප්‍රිය බවද කරගුල්ලේ මහතා තවදුරටත් සඳහන් කරන ලදී. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව තම සමාගම ඉතා ඕනෑකමින් නිරීක්ෂණය කළ බවද, මෙරට බොහෝ රෝහල් තාක්ෂණික වශයෙන් තවදුරටත් උසස් කිරීමේ හැකියාවක් ඇති බවත් හෙතෙම පැවසීය. එම කටයුත්තේලා තම සමාගම සතු දැනුම ශ්‍රී ලංකාවේ රෝහල් ක්ෂේත්‍රයට ලබාදීමට කැමැත්තෙන් පසුවන බවද ඔහු පැවසීය. කරගුල්ලේ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ, තම සමාගම ශ්‍රී ලංකාව තුළ ආයෝජනයට සැරසෙන්නේ මෙරට තුළ නව රෝහලක් ස්ථාපනය කිරිම හරහා බවත්, ඒ සඳහා මේ දිනවල දේශීය ආයෝජකයෙක් සොයමින් සිටින බවත්ය.
turky 04
ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති, ස්කෙන්ඩර් ඔක්යායි මහතා අමාත්‍ය, බදියුදීන් මහතා දැනුවත් කළ අවස්ථාවක්. ඡායාරූපය – දමිත් ජයසිංහ.
අමාත්‍ය බදියුදීන් මහතා මෙහිදී පැවසුවේ, ඉහළ තාක්ෂණ දැනුමක් සහිත උසුම්සු ටිබි සිහාස් සමාගම ශ්‍රී ලංකාවට පැමිණීම සතුටට කරුණක් බවයි. තවද, එම සමාගම සතු දැනුම හා තාක්ෂණය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීමට උපකාරී වනු ඇති බවටද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය. ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට පැමිණෙ ඔබ ආයතනය අප රජය ඉතා සාදරයෙන් පිළිගන්නා බවද, මෙම ආයෝජනය වෙනුවෙන් අවශ්‍ය සියඵ සහාය තම අමාත්‍යාංශය හා නිලධාරීන් විසින් ලබාදෙන බවටද අමාත්‍යවරයා, කරගුල්ලේ මහතාට පොරොන්දු විය.
ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති, ස්කෙන්ඩර් ඔක්යායි (İskender Okyay) මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.
turky 02
ද්වීපාර්ශ්වීය සාකච්ඡාවන්හි අවස්ථාවක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *