කන්කසන්තුරේ වරාය වාණිජ වරායක් ලෙස සංවර්ධනය කර ඒ වටා නව ආර්ථික කලාපයක් ස්ථාපිත කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සඳහා ඉන්දීයාවෙන් ආධාර ලෙස ලැබුණ ඇමරිකන් ඩොලර් මිලියන 45.27ක මුදලක් ආයෝජනය කෙරේ.

නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුදීන් යන මහත්වරු සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළ නිලධාරීන් සමග කන්කසන්තුරේ වරායේ නිරීක්ෂණ චාරිකාවක යෙදිණි. ව්‍යාපෘතියට අදාළ ඉඩම් අත් පත් කරගැනීම කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.

කන්කසන්තුරේ වාණිජ වරායක් වශයෙන් දියුණු කිරීමට, කැබිනට් අනුමැතිය ද උතුරු පළාත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස අගමැතිවරයා ලබාගෙන ඇත.

2022 අවසන්වන විට සාමාන්‍ය භාණ්ඩ ප්‍රවාහන නැව් පැමිණිය හැකි ආකාරයට වරාය සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවත්, භාණ්ඩ ප්‍රවාහන නැව් වලට ගමන් කළ හැකි පරිදි එහි ගැඹුර මීටර් 8ක් දක්වා වැඩි වන සේ ජැටියක් ප්‍රතිසංස්කරණය කිරීම ද, තවත් ජැටියක් අලුතින් නිර්මාණය කිරීමට ද සැලසුම් කර තිබෙන බවත්, දැනට අක්කර 15ක භූමියක තිබෙන වරාය පරිශ්‍රය සංවර්ධන කටයුතු කිරීමේදී අක්කර 50ක් දක්වා භූමි ප්‍රදේශයකට ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙන බවද අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා කියා සිටියේ ජාත්‍යන්තර වෙළෙඳාමේ දී ආනයන, අපනයන කටයුතු පහසු කිරීමත් සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා ඇති කිරීමත් මෙහි ප්‍රධාන අරමුණු වෙනවා. මේ ප්‍රදේශයේ නව කර්මාන්තශාලා ආරම්භ කිරීමට කැමැත්තක් දක්වන ව්‍යවසායකයන්ට අප අමාත්‍යාංශය යටතේ දිය යුතු පහසුකම් හැකි උපරීමයෙන් ලබා දීමට පියවර ගන්නා බවද රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *