ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය දීර්ඝ කාලයකට පසු සුවිශේෂී ජයග්‍රහන ත්‍රිත්වයක් වාර්තා කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
 අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක, බන්දුල එගොඩගේ මහතා විසින් එම මණ්ඩලයේ කාර්ය සාධනය පිළිබඳව පසුගිය ජුනි 30 දා අමාත්‍යවරයාට වාර්තා කිරීමෙන් අනතුරුව පැවති සාකච්ඡාවේදීය. මෙම හමුව එම මණ්ඩලයේ මාණ්ඩලීය ලේකම් කාර්යාලයේදී පැවත්විණි.
 අමාත්‍ය, බදියුදීන් මහතා මෙහිදී තවදුරටත් පවසා සිටියේ, අපනයන ක්ෂේත්‍රයේ ලබාගත් ජයග්‍රහන ත්‍රිත්වයෙන් (Export hat trick) පළමුවැන්න ලෙස, 2014 මැයි මාසයට සාපේක්ෂව, ජුනි මස අපනයනයන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම, 2013 ජනවාරි සිට ජුනි දක්වා මුල් මාස හය (06) හා 2014 වර්ෂයේ අදාල කාලය සැලකීමේදී මෙම වසරේ සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කිරීම මෙහි දෙවැනි අපනයන ජයග්‍රහණය බැව්ද අමාත්‍යවරයා පැවසීය. තෙවැන්න සහ ප්‍රධානතම ජයග්‍රහණය වන්නේ, පසුගිය පස් වසරේ මුල් මාස හයක කාලය සැලකීමේදී 2014 ජනවාරි – ජුනි ආදායම ඉහළම අගය වාර්තා කරන බවයි. තවද මෙම ජයග්‍රහණ තමා විසින් හෝ එක් පාර්ශ්වයන් විසින් තනිව ලබාගත් දෙයක් නොවන බවත්, මේ වෙනුවෙන් කැපවූ සියඵම අපනයනකරුවන් හා අදාල සමාගම් වලට තම ප්‍රණාමය පුදකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 2010 සිට 2014 දක්වා වූ වසර පහක කාලයන්ගේ ජනවාරි සිට ජුනි දක්වා වූ කාලය සැලකිල්ලට ගැනීමේදී, 2014 වසරේ ජනවාරි – ජුනි කාලය තුළ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5410.4 ක් ලෙස සටහන් විය. මෙයද වාර්තා ගත අපනයන ආදායමක් වන අතර, එය 2010 උපයා තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 3741 හා සැසඳීමේදී 45% ක වාර්තාගත වර්ධනයකි.
 ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ නවතම යාවකාලීන දත්ත අනුව, මෙම වසරේ මැයි මස ශ්‍රී ලංකා අපනයනයන් හි මුඵ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 882 කි. ජුනි මස අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 988.63 ක් ලෙස සටහන් වී තිබිණි. ඒ අනුව, 2014 මැයි මසට වඩා ජුනි මස අපනයන වර්ධනයේ ප්‍රතිශතය 12.09 %  ක් විය. මෙම වර්ධනයේලා ඇඟලුම් නිෂ්පාදන ප්‍රධාන වී ඇති අතර, 2014 වඩා ජුනි මාසයේ ඇඟලුම් අපනයන ආදායම ඩො.මිලියන 444.39 කි. එය 22.32% ක වර්ධනයකි. එමෙන්ම ඉහත ප්‍රකාශිත මස තුළ කාර්මික නිෂ්පාදන අපනයනයන් 14.12% කින්ද, කෘෂිකාර්මික නිෂ්පාදන 10.26% කින්ද හා නිෂ්පාදන භාණ්ඩ 2.36% කින්ද වර්ධනයක් පෙන්නුම් කරන ලදී.
 2013 ජනවාරි සිට ජුනි දක්වා වූ මුල් මාස හය (06) හා 2014 එම කාලය සන්සන්දනය කිරීමේදී 16.8% ක අපනයන වර්ධනයක් පෙන්නුම් කරන අතර, සමස්ථ අපනයන ආදායම ඩොලර් බිලියන 5.41 ක් විය. එමෙන්ම 2013 හා 2014 මුල් මාස සය සැසඳීමේදී මෙම වසරේදී (2014 දී) ධීවර අපනයන 24% කින්ද, කෘෂිකාර්මික අපනයන 22% කින්ද, ඇඟලුම් 20.40 % කින්ද, වර්ග නොකරන ලද අපනයන භාණ්ඩ 17% කින්ද, නිෂ්පාදන අපනයන 14.15% කින්ද සහ කාර්මික අපනයන 14% කින්ද වර්ධනයක් පෙන්වයි. තවද පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ අප්‍රිකානු රටවල් සඳහා සිදුකළ අපනයනයන් 41% කින්ද, යුරෝපා සංගමයට සිදුකළ අපනයනයන් 19% කින්ද, මැදපෙරදිග අපනයනයන් 19% කින්ද, ඇමරිකානු අපනයන 17% කින්ද හා මධ්‍යම හා නැඟෙනහිර යුරෝපා අපනයන 15% කින්ද වර්ධනය වී තිබේ. එමෙන්ම රටවල් ලෙස ගත් කළ පසුගිය වසරේ මුල් මාස හය හා මෙම වසරේ අදාල කාලය සැලකීමේදී ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ඉතාලිය, ඉන්දියාව හා ජර්මනිය යන රටවල් වෙත සිදුකළ අපනයනයන්ගේද ඉහළ වර්ධනයක් පෙන්නුම් කරයි. 2013 වසරේ මුල් සය මස තුළ සමස්ථ අපනයන ආදායම ලෙස වාර්තා වී තිබූයේ ඩොලර් බිලියන 4.66 ක් පමණි.
 2020 වසරේදී අපනයනයන් හරහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 20 ක් උපයාගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීමේදී මෙම සාධනීය තත්වය මනා පිටුවහලක් බැව්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, බන්දුල එගොඩගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේය. එමෙන්ම මෙම අපනයන ප්‍රගතිය සඳහා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සක්‍රිය කැපවීම හා මඟපෙන්වීම් විශේෂයෙන් ඉවහල් වූ බැව්ද එගොඩගේ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *