යුද්ධය නිමකර කෙටි කලක් තුළ දිළිඳුකම අවම කිරීමටත්, ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමටත්, ශ්‍රී  ලංකාව ගෙන ඇති සමාජ ආර්ථික උපාය මාර්ග තම රට අගය කරන බැව් වියට්නාමයේ වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය, වූ හූයි හොආන්ග් (Vu Huy Hoang) මහතා පැවසීය.    
 ඒ මහතා මේ බැව් පැවසුවේ, පුඵල් සබඳතාවන්ගෙන් යුත් ශ්‍රී ලංකා – වියට්නාම් වෙළඳ ගිවිසුමකට මඟ පාදනු වස්, එම දෙරට අතර ප්‍රථම නිල වෙළඳ යාන්ත්‍රණය ඇරඹීම වෙනුවෙන් පැවති සැසිවාරයක් අමතමිනි. මෙම සැසිය, වියට්නාමයේ හැනෝයි නුවරපිහිටි එරට කර්මාන්ත හා වෙළඳ අමාත්‍යාංශ මූලස්ථානයේදී පසුගිය (අගෝස්තු 21) දා,  පැවත්විණි.
 වියට්නාමයේ වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය, වූ හූයි හොආන්ග් මහතාගේ නායකත්වයෙන් යුත් සත් සාමාජික දූත පිරිසක් වියට්නාමය වෙනුවෙන්ද,අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් ප්‍රමුඛ සය සාමාජික නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාව වෙනුවෙන්ද මෙම ද්වීපාර්ශ්වික සාකච්ඡා සඳහා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක, බන්දුල එගොඩගේ, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආර්.ඩී.එස්.කරුණාරත්න, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති, ගරු අයිවන් අමරසිංහ යන මහත්වරුන්ද මීට ඇතුළත් වූහ.
vietnam, hanoi 03
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, වූ හූයි හොආන්ග් මහතා, ශ්‍රී ලංකාවේ පංච කේන්ද්‍ර උපාය මාර්ගික වැඩපිළිවල පිළිබඳව දීර්ග ලෙස දැන ගැනීමට වියට්නාමය ඉතා කැමැත්තක් දක්වනවා. ඒ වගේම යුද්ධය නිමාකර කෙටි කාලයක් තුළ දරිද්‍රතාවය අවම කිරීමටත්, ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමටත්, ශ්‍රී ලංකාව ගෙන ඇති උපාය මාර්ග හා සමාජ ආර්ථික ක්‍රියා මාර්ග වියට්නාමය අගය කරනවා. එම උපාය මාර්ගය වියට්නාමයේත් සමාජ, ආර්ථික දියුණුව සඳහා යොදාගැනීමට ඉතා උචිත වෙනවා. ගෝලීය පසුබැස්ම හේතුකොට ගෙන ශ්‍රී ලංකාව මෙන්ම වියට්නාමයටද ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවූවත්, මෙම බාධක මැඩපවත්වමින් වියට්නාම් ආර්ථිකය දළ දේශීය නිෂ්පාදනය 2013 වර්ෂයේදී 5.32% වර්ධනයක් ඇතිකර ගැනීමට සමත් වුණා. මේ වසරේ මුල් මාස 6 තුළ 5.5% ක වර්ධනයක් ඇතිකර ගැනීමට වියට්නාම් අර්ථිකයට හැකියාව ලැබුණා. 2013 දී ඇ.ඩො.බිලියන 266 ක්වූ ජාත්‍යන්තර වෙළඳ අගය මෙම වසරේදී ඇ.ඩො. බිලියන 300 දක්වා ඉහළ යනු ඇතැයි අප අපේක්ෂා කරනවා. එමෙන්ම ගෘහස්ථ දරිද්‍රතාව 2013 වසරේදී 9% ක් දක්වා පහත හෙළීමට අප සමත්ව තිබෙනවා.
ඒකාබද්ධ ආර්ථික හා ආයෝජන සම්බන්ධතා මගින් දිනිය හැකි සම්භවයන් බොහෝමයක් ශ්‍රී ලංකාව හා වියට්නාමය සතු වන බවද, වර්තමානයේ දෙරට අතර වෙළඳ ධාරිතාවය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත්, එය ප්‍රවර්ධනය කළ යුතු බවත්, අමාත්‍ය, වූ හූයි හොආන්ග් වැඩිදුරටත් සඳහන් කළේය.
 මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා, මෙම නව වෙළඳ යාන්ත්‍රණය, වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර බොහෝ ආයෝජන හා වෙළඳ අවස්ථාවන්ට මඟ පාදන බවද, ඒ සඳහා එක්සත් වෙළඳ උප කමිටුවක් ස්ථාපිත කිරිමෙන් දෙරට අතර පවතින ආර්ථික හා වෙළඳ සබඳතා තව තවත් ශක්තිමත් කිරීමට මෙන්ම, ද්වීපාර්ශ්වීය සබඳතා ඉහළ නැංවීමටද හැකි බැව් පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, බදියුදීන් මහතා,අප දෙරට ඇති කරගත් නව ප්‍රවේශයන් දෙරට අතර නව බොහෝ සබඳතා ඇති කර ගැනීමට ඉවහල් වනු ඇති. ගැට් (GATT) සම්මුතියේ ආරම්භක සාමාජිකයෙකු මෙන්ම, ලෝක වෙළඳ සංවිධානයේද සාමාජිකත්වය තුළින් ශ්‍රී ලංකාව ලිබරල් හා වෙළඳපොල දිශානත ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි කැපවුණු රටක්. අප ගෝලීය ආර්ථිකය සමඟ දැඩි සංකලනයක් ඇති කර ගැනීමට සියඵම ප්‍රයත්න දරනවා.ශ්‍රී ලංකාව දියත් කර ඇති අඛන්ඩ හා දීර්ඝකාලීන ආර්ථික ප්‍රතිපත්ති නිසා බොහෝ රටවල් අප කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇතිවා මෙන්ම, නව සබඳතා ඇති කර ගැනීමටද කටයුතු කොට තිබෙනවා. මහින්ද චින්තන වෙළඳ අරමුණු මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ගෝලීය වෙළඳ පොල සමඟ සංකලනය කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ආසියානු රටවල් සමඟ සමීප සබඳතා ඇතිකර ගැනීමට ප්‍රමුඛත්වය ලබාදී තිබෙනවා.
2012 දී 6.3% ක්වූ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය, 2013 වර්ෂයේදී 7.3% දක්වා වර්ධනය කර ගැනීමට සමත්වූ බැව් පැවසූ අමාත්‍යවරයා, පසුගිය මස නිකුත් කළ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව මගින් ශ්‍රී ලංකාව සීග්‍රයෙන් දියුණුවට පත්වන ආසියානු ආර්ථිකය බව නිවේදනය කර තිබීම අපගේ ආර්ථික දැක්ම නිවැරදි බවට ලද හොඳ සහතිකයක් බැව්ද පැවසීය.
සාක්ශාත් කර නොගත්තාවූ වෙළඳ අවස්ථාවන් හඳුණාගනිමින්, ඒවා එළිදැක්වීමට ක්‍රියා කිරීම, දෙරටටම වාසිසහගත වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
 vietnam, hanoi 02
2011 ඔක්තෝබර් මාසයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වියට්නාම් සංචාරයේදී දෙරටේ නායකයින් අතර ඇතිකරගත් එකඟතා අනුව පැවැත්වූ 3 වන ඒකාබද්ධ කමිටු සාකච්ඡාවේදී වෙළඳ අගය ඇ.ඩො.බිලියන එකක් (01) දක්වා වර්ධනය කිරීමට ඉලක්කයක් නිර්ණය කරන ලදී. දැනට වියට්නාමය ශ්‍රී ලංකාවේ 40 වැනි අපනයන රාජ්‍ය වන අතර, 23 වෙනි ආනයනකරුද වන්නේය. ශ්‍රී ලංකාවේ අපනයන වලින් 0.43% ක්ද ආනයන වලින් 1.06% ක්ද වියට්නාමය සතුය. 2012 දී ඇ.ඩො.මිලියන 1195 ක්වූ ද්වීපාර්ශ්වික වෙළඳ අගය 2013 දී ඇ.ඩො.මිලියන 224.4 දක්වා ඉහළ ගොස් ඇත. මෙය 88% ක වර්ධනයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *