ජනතා සේවය වෙනුවෙන් වෙහෙසෙන අමාත්‍යවරුන් අතර, බැසිල් රාජපක්ෂ මහතා තරම් කැපවී ක්‍රියාකරන වෙනත් අමාත්‍යවරයෙකු කැබිනට් මණ්ඩලය තුළ නොමැති බැව්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා අද (01) පෙරවරුවේ මන්නාරමේදී පැවසීය.
 අඩු ආදායම්ලාභී පවුල්වල ස්වයං රැකියා මාර්ග වැඩිදියුණුව වෙනුවෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන දිවි නැගුම සහන අරුණ විශේෂ ණය යෝජනා ක්‍රමය මන්නාරමේදී ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය. මන්නාරම දිවි නැගුම ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පරිශ්‍රයේදී මෙම රැස්වීම පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බදියුදීන් මහතා, මම 2005 වසරේ සිට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉතා ලඟින් ඇසුරු කරනවා. එතුමා අපේ රජයේ වෙහෙස මහන්සි වී ජනතාවට සේවය කරන අමාත්‍යවරුන් අතරින් ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්. මෙරට තැලී පොඩිවෙන ජනතාව වෙනුවෙන් හා සමස්ථ රටේ සංවර්ධනය වෙනුවෙන් එතුමා තරම් කැපවූ වෙනත් අමාත්‍යවරයෙක් නොමැති තරම්.
 මේ රටේ අතිවිශාල ආයෝජන ව්‍යාපෘති ආරම්භ කරන්නන්ගේ පහසුකම් සැලසීමේ සිට ඉතා අඩු ආදායම් ලබන දුගී ජනතාවගේ ආදායම් ඉහළ නැංවීම හා සුබසාධනය යන කරුණු දෙකම බැසිල් රාජපක්ෂ මහතා විසින් ක්‍රියාත්මක කරනු ලබනවා. එහිදී කිසිම කෙනෙකුට විශේෂත්වයක් නොදක්වමින්, මෙම අංශ දෙකම ඉතා සමබරව සිදුකිරීම එතුමාගේ විශේෂත්වයක්.
 ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමා ගෙන යන ක්‍රියාමාර්ග පැසසිය යුතුමයි. 2016 වන විට මෙරට සංචාරක හෝටල් වල කාමර සංඛ්‍යාව 50,000 ක් දක්වා වැඩි කිරීම එතුමාගේ ඉලක්කය වී තිබෙනවා. ඒ තුළින් සංචාරකයන් මිලියන 2.5 ක් මෙරටට ගෙන්වා ගැනීමටත්, ඇමරිකානු ඩොලර් මිලියන 2.7 ක් ඉපැයීමටත් අපේක්ෂා කරනවා. මෙමගින් රැකියා විරහිත තරුණ තරුණියන් ලක්ෂ 5 කට රැකියා අවස්ථා ලබාදිය හැකියි. මේවායේ වරප්‍රසාද මන්නාරමේ ජනතාවටත් ඉදිරියේදී ලැබේවි.
 බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත අඩු ආදායම් ලාභී පවුල් වල දිරිය මිනිසුන් නගා සිටුවීම සඳහා ආරම්භ කෙරෙන මෙම දිවිනැගුම සහන අරුණ විශේෂ ණය වැඩසටහන මෑත ඉතිහාසයේ දිවයිනේ ක්‍රියාත්මක වූ අතිවිශාලතම මූල්‍ය ණය ව්‍යාපෘතියයි. ජනතා හැඟීම් නිවැරදි ලෙස තේරුම් නොගත්තෙකු කිසිවිට මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. මෙම වැඩසටහන තුළින් මන්නාරම් ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට තෝරාගැනීම පිළිබඳවත් එතුමාට මාගේ ප්‍රණාමය පුදකරන්න කැමතියි. අද මුල් අවස්ථාවේදී මන්නාරම ප්‍රදේශයේ පවුල් 25 ක් වෙත මෙම මූල්‍ය ප්‍රදානය සිදුකරනවා.
 මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුබද්ධිත, දිවිනැගුම ක්ෂුද්‍ර මූල්‍ය බැංකු 1,073 ක් මගින් දිවයින පුරා ක්‍රියාත්මක මෙම වැඩසටහන මගින්, අඩු ආදායම් ලබන පවුල් වල සාමාජිකයන්ට ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහාත්, ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහාත් රු. 5,000 සිට රු. 50,000 ක් දක්වා සහන පොළී මත ණය ලබාදීම සිදුකෙරේ.
 මෙම උත්සවය සඳහා, ප්‍රතිලාභීන් හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ද, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව හා එම බැංකු නිලධාරින්ද, රාජ්‍ය සේවා හා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ද ඇතුඵ විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *