යුරෝපා සංගමය ශ්‍රි ලංකාවට පනවා ඇති මත්ස්‍ය අපනයන තහනම ඉවත් කරවා ගැනීමත්, අහිමිවී ඇති GSP+ බදු සහණය නැවත ලබාගැනීමත්, දින 100 වැඩසටහන යටතේ තම අමාත්‍යාංශයේ ප්‍රමුඛ කර්තව්‍ය බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ, රජයේ දින 100 වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා වාණිජ දෙපාර්තමේන්තුව හරහා සිදුකිරිමට නියමිත ව්‍යාපෘතීන් පිළිබඳ අපනයනකරුවන් දැනුවත් කිරීම හා ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම වෙනුවෙන් සංවිධානය කළ වැඩමුළුවක් අමතමිනි.  මෙම වැඩමුළුව ඊයේ (25) පස්වරුවේ, කොළඔ 02, නවම් මාවතේ පිහිටි,  ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
25FEBE3 01
ඉන්දියාව හා පකිස්ථානය සමඟ දැනට ක්‍රියාත්මක නිදහස් වෙළඳ ගිවිසුම් තවදුරටත් ශක්තිමත් කිරීම හා එම රටවල් වලින් ලබාදී ඇති තීරුබදු සහන උපරිම වශයෙන් ලබාගැනීමට කටයුතු කිරීමද තම අපේක්ෂාව බැව් අමාත්‍ය බදියුදීන් මහතා ප්‍රකාශ කළේය. ඉලක්කගත රටවල් සමඟ ද්වීපාර්ශ්වීය වෙළඳ කටයුතු පුළුල් කිරීමේ මූලික සාකච්ඡා ආරම්භ කොට ඇතැයිද හෙතෙම තවදුරටත් පැවසීය. ඒ යටතේ, වියට්නාම් වෙළඳ පොළට වැඩි ප්‍රවේශයක් ලබාගැනීම, යෝජිත චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ තුන්වන සාකච්ඡා අදියරට එළැඹීම, ජපන් වෙළඳපොළ ප්‍රවර්ධනය, තුර්කිය සමඟ නව වෙළඳ අවස්ථා ඇතිකර ගැනීමට අදාල සාකච්ඡා පැවැත්වීම ප්‍රධාන වන බැව් අමාත්‍යවරයා පැවසීය.
මෙරට ජාත්‍යන්තර වෙළඳාම පසුගිය සමයේ මන්දගාමී වීමට හේතුව, වාණිජ ක්ෂේත්‍රයේ අසාර්ථකත්වයක් නොව, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ වැරදි සහගත දැක්ම බැව් මෙම වැඩමුළුව ඇමතූ, ප්‍රතිපත්ති, සැලසුම් හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. දේශීය අපනයන සඳහා වැඩි වෙළඳපොළ අවස්ථා තිබූ යුරෝපා හා බටහිර රටවල් රැසක් සමඟ රාජ්‍ය තාන්ත්‍රික මතබේද හා ගැටුම් ඇතිකර ගැනීම නිසා ශ්‍රී ලංකාවට අවාසියක් වූ බවද ඒ මහතා සඳහන් කළේය. මෙරට අපනයන නිෂ්පාදනයන්ට ඉතා වාසිදායක වූ GSP+ බදු සහනය අපට අහිමි වීම ඊට හොඳම උදාහරණය බැව්ද නියෝජ්‍ය ඇමතිවරයා කීය.
 25FEBE1 02
විදේශ කටයුතු අංශය හා කර්මාන්ත හා වාණිජ කටයුතු යන අංශ එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර දෙකක් ලෙස නොව, අන්‍යෝන්‍ය ලෙස සම්බන්ධ වූ රේඛීය අංශ ලෙස ක්‍රියාත්මක විය යුතු යැයි තමා විශ්වාස කරන බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.
වත්මන් රජයේ වැඩපිළිවෙල පිළිබඳ යුරෝපා සංගමය පැහැදීමකින් සිටින අතර, එම නව ප්‍රවණතාවය මත, ධීවර නිෂ්පාදන සම්බන්ධ තහනම ලබන ජූලි මස වන විට ලිහිල් කෙරෙනු ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
අමාත්‍යාංශ ලේකම්, එස්.එස්.මියනවල, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, බන්දුල එගොඩගේ, වාණිජ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්, කේ.ඩී.එස්.කුමාරරත්න යන මහත්වරුන්ද, අපනයනකරුවන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *