GSP+  බදු සහනය නැවතත් ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබඳ සලකා බැලීම සඳහා යුරෝපා සංගමය නියෝජනය කරමින් ඉහළ මට්ටමේ දූත පිරිසක් මාර්තු 23 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බැව්, ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති, ඩේවිඩ් ඩැලී මහතා (HE.David Daly, EU Ambassador to Sri Lanka) පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළකළේ, GSP+ බදු සහනය ලබාගැනීමට අදාලව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා සමඟ පැවති මූලික සාකච්ඡාවකදීය. මෙම සාකච්ඡාව ඊයේ පස්වරුවේ (18) කොළඔ 02, නවම් මාවතේ පිහිටි, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ තානාපති ඩැලී මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ ආකල්පය ධනාත්මක බවයි. එමෙන්ම එය තවදුරටත් ශක්තිමත් කරගැනීමට කාලය පැමිණ ඇතැයිද ඒ මහතා පැවසීය.
GSP+ බදු සහනය ලබාගැනීම පහසු හෝ කඩිනම් කටයුත්තක් නොවන බැව් සඳහන් කළ තානාපතිවරයා, එය සංකීර්ණ ක්‍රියාදාමයක් බැව්ද පැවසීය. එමෙන්ම ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බවද ඔහු සඳහන් කළේය. දැනට GSP+ බදු සහනය ලබන ලෝකයේ වෙනත් රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද ඒ වෙනුවෙන් වන ජාත්‍යන්තර සම්මුතීන් 27 කට අනුකූලතාවය දැක්විය යුතු බවද ඩේවිඩ් ඩැලී මහතා පෙන්වා දෙන ලදී. ළමා ශ්‍රමය භාවිතා නොකිරීම, කම්කරු හා මානව අයිතීන් ආරක්ෂා කිරීම ඇතුළු කරුණු ඊට අනුගත බැව්ද හෙතෙම පැවසීය.
 18MARCH23333333
මෙම බදු සහනය ලබාදීමට අදාල මූලික වටයේ සාකච්ඡා සඳහා බ්‍රසල්ස් නුවර සිට, යුරෝපා සංගමයේ ඉහළ පෙළේ දූත පිරිසක් මාර්තු මස 23 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බැව්ද තානාපතිවරයා දන්වා සිටියේය. එම දූත පිරිස හා පැවැත්වෙන ද්වීපාර්ශ්වික සාකච්ඡාවන්හි ප්‍රගතිය විශ්ලේෂණය කොට, වැඩිදුර අගයීම සඳහා ලබන අප්‍රේල් මාසයේදී තවත් දූත පිරිසක් පැමිණෙන බවද ඩැලී මහතා පැවසීය. කෙසේ වුවද, පැවැත්වීමට නියමිත සාකච්ඡාවන්හි ප්‍රගතිය හා සමාලෝචනයන් මත GSP+ බදු සහනය ලබාදීම සහ අනෙකුත් ද්වීපාර්ශ්වීය සහයෝගීතාවයන් පිළිබඳ යුරෝපා සංගම් නිර්දේශ ලැබෙනු ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී යුරෝපා සංගම් තානාපතිවරයා ඇමතූ අමාත්‍ය, බදියුදීන් මහතා, GSP+ බදු සහනය අහිමි වීමෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්ත අංශයට දැඩි පාඩුවක් සිදුවූ බැව් පෙන්වා දෙන ලදී. එබැවින් එය නැවතත් ලබාගැනීම ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුවට බෙහෙවින් ඉවහල් වනු ඇතැයිද ඇමතිවරයා පැවසීය.
තම රජයේ දින 100 වැඩපිළිවෙල තුළ GSP+ බදු සහනය නැවත ලබාගැනීමට විශේෂ ස්ථානයක් හිමිව ඇතැයි ද සඳහන් කළ බදියුදීන් මහතා, ඒ සම්බන්ධයෙන් යුරෝපා සංගමය දැක්වූ සුබවාදී ප්‍රතිචාර අගය කරන බවද පැවසීය. යුරෝපා සංගම් නිලධාරීන් හා ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡා සාර්ථක වනු ඇතැයිද බදියුදීන් මහතා විශ්වාසය පළකළේය.
2014 වර්ෂයේ  ශ්‍රි ලංකාව හා යුරෝපා සංගමය අතර සමස්ථ ද්වීපාර්ශ්වික වෙළඳ අගය, ඇමරිකානු ඩොලර් බිලියන 5.07 කි. පෙර වසරට සාපේක්ෂව එය 3.6% ක වර්ධනයකි. GSP+ බදු සහනය නැවත ශ්‍රී ලංකාවට හිමි වුවහොත් යුරෝපා සංගමය වෙත කෙරෙන ශ්‍රී ලංකා අපනයනයන්හි සීග්‍ර වර්ධනයක් ඇති වනු ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විශ්වාසය කළකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *