දේශීය ඇඟලුම් නිෂ්පාදනයන්හි පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් තාක්ෂණික ආධාර හා සහයෝගය ලබාදීමට ස්වීඩනය කැමැත්තෙන් පසුවන බැව් එරට ස්ටොක්හෝම් නුවර ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්ති ආයතනයේ උපදේශිකා, නෙස්ලි ඇල්මොෆ්ටි (Nesli Almufti (Stockholm based Trade Policy Advisor of Swedish Government’s National Board of Trade) මහත්මිය පැවසුවාය.
ඇය මෙම අදහස් පළකළේ, ස්කැනේඩියානු රටවල් වෙත සිදුකරන ශ්‍රි ලංකාවේ ඇඟලුම් හා අනෙකුත් අපනයන වෙළඳපොළ පුළුල් කිරීමට අදාල ද්වීපාර්ශ්වීය සාකච්ඡාවකදීය. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡා, පසුගියදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ වෙළඳ ප්‍රතිපත්ති උපදේශිකා, නෙස්ලි මහත්මිය පැවසුවේ, තම ශ්‍රී ලංකා ගමනේ ප්‍රමුඛ අරමුණ වන්නේ මෙරට නිමි ඇඳුම් හා ඇඟලුම් කර්මාන්ත අංශයේ පර්යේෂණයන් හා සංවර්ධන කටයුතු වලට අදාල තාක්ෂණික ආධාර හා උපදේශන සේවා ලබාදීම බවයි. ඒ සඳහා තම රට ලෝකයේ ඉහළම නමක් දිනා සිටින බවද ඇය සඳහන් කළාය. එමෙන්ම ශ්‍රී ලංකාවෙන් ස්වීඩනයට අපනයනය කළ හැකි සෙසු නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය මඟපෙන්වීම් කිරීමටද තමා කැමැත්තෙන් පසුවන බැව් ඒ මහත්මිය පැවසුවාය.
විදෙස් රටවල් 100 කින් පමණ තම රට සිදුකරන ආනයන වැඩි කිරීමට ස්වීඩන් රජයේ ජාතික වෙළඳ මණ්ඩලය මේ වන විට උත්සාහ ගනිමින් සිටින බැව් පැවසූ ඇය, එම අවස්ථාවෙන් විපුල ප්‍රථිලාභ ලබාගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබී ඇතැයිද පැවසුවාය. ස්වීඩන් ජාතික වෙළඳ මණ්ඩලය ඕනෑම රටක වාණිජ අමාත්‍යාංශයක් තරම් බලතල සහිතය.
අවම මිළක් සහිත භාණ්ඩ හා සේවා සඳහා තරඟකාරී වෙළඳ පොළේදී වැඩි ඉල්ලුමක් පැවතියද, ස්කැන්ඩිනේවියානු වෙළඳ පොළ එසේ නොවන බවද ඇය කීවාය. එම රටවලදී වැඩි අවධානයක් යොමු වන්නේ භාණ්ඩවල ගුණාත්මක බව හා ප්‍රමිතිය පිළිබඳ බවද කීවාය.
නව ඇඟලුම් විලාසිතා එළිදැක්වීම හා ඒ ආශ්‍රිත පර්යේෂණ හා සංවර්ධනය වෙනුවෙන් ලොව පතල, ස්වීඩනයේ ගොතන්බර්ග් නගරය ආශ්‍රිත බොරාස් ඇඟලුම් විලාසිතා මධ්‍යස්ථානය සහ බොරාස් විශ්ව විද්‍යාලය සමඟ ශ්‍රී ලංකාවට සබඳතා ගොඩනගා දීමට තමා කැමැත්තෙන් පසුවන බවද නෙස්ලි ඇල්මොෆ්ටි මහත්මිය පොරොන්දු වූවාය.
මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේ, ශ්‍රි ලංකාවට තාක්ෂණික ආධාර ලබාදීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ස්වීඩන් රජයට තම රජයේත්, ඇඟලුම් කර්මාන්තකරුවන්ගේත් ස්තුතිය පිරිණමන බවයි. GSP+ බදු සහනය නැවත ලබාගැනීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය හා ශ්‍රි ලංකාව ද්වීපාර්ශ්වික සාකච්ඡා මේ වන විට ආරම්භ කොට ඇති බවද සිහිපත් කළ අමාත්‍යවරයා එහිලා ස්වීඩනයේ මිත්‍රත්වය බෙහෙවිත් බලපානු ඇති බවද පැවසීය.
ලංකාවේ ඇඟලුම් නිෂ්පාදනයේ සිට නැව්ගත කිරීම දක්වා වූ නිෂ්පාදන කාල චක්‍රය, දින හතරක් හෝ පහක් වන බැවින් ස්වීඩනයට අවශ්‍ය ඉහළ ප්‍රමිතියකින් යුතු ඇණවුම් කෙටි කලක් තුල ලබාදීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇතැයිද හෙතෙම සඳහන් කළේය. පසුගිය වසරේ සමස්ථ ඇඟලුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 කට ආසන්න (ඩො.බි.4.9 ක්) වූ බැව් සඳහන් කළ අමාත්‍ය බදියුදීන් මහතා, එයින් තුනෙන් එකක්ම ස්වීඩනයට සිදුකළ අපනයන හරහා ලද බැව්ද පැවසීය.
GSP+ බදු සහනය නැවත ලබාගැනීම වෙනුවෙන් යුරෝපා සංගමයේ බ්‍රසල්ස් නියෝජිතයන් හා සාකච්ඡා පැවැත්වෙන මෙවැනි වකවානුවක් තුළ ස්වීඩන් නියෝජිතවරියන්ගේ මෙරට සංචාරය ධනාත්මක සාධකයන් වනු ඇත. තවද, යුරෝපාකරය පුරා හමා ගිය දරුණු ආර්ථික අවපාත සමයේ වුවද, ස්වීඩනය ඇතුළු ස්කැන්ඩිනේවියානු රටවල් ඊට ගොදුරු නොවී ශක්තිමත්ව නැගී සිටියේය. එවැනි ආර්ථික ස්ථාවරත්වයක් හිමි යුරෝපා සංගමයේ වෙළඳ පොළකට පුළුල් ලෙස අවතීර්ණ වීමට ලැබීම ශ්‍රී ලංකාව ලබන මහඟු ප්‍රථිලාභයක් බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විශ්වාස කරයි.
ස්වීඩනයේ ජාතික වෙළඳ මණ්ඩලයේ ඇඟලුම් විලාසිතා මධ්‍යස්ථානයේ උපදේශකා, හෙලන් හෆ්ග්රෙන් මහත්මියද (Helena Hafgren Swedish Apparel and Fashion Expert Consultant to National Board of Trade-Open Trade Gate left) මෙම අවස්ථාවට සහභාගී වූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *