නව රජය බලයට පත්ව සිව් මසක් තුල ස්විස් ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගැන වැඩි වැඩියෙන් උනන්දුවීමෙන් පෙනී යන්නේ, ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ විදේශ හා වෙළඳ ප්‍රතිපත්තියේ ඇති මිත්‍රශීලී භාවය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාව විශ්වාසය දක්වා ඇති බව යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ, ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකොට ඇති ස්විස් ව්‍යාපාරිකයන්ගේ පළමු වටමේස සාකච්ඡාව අමතමිනි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ මෙම සාකච්ඡාව අද (13 දා) පෙරවරුවේ එම මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී ඇරඹිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බදියුදීන් මහතා, “හෝල්සිම් ලංකා සමාගම, ඒ.බවර් සහ සමාගම, නෙස්ලේ ලංකා සමාගම, රුචී නිෂ්පාදන සමාගම වැනි ඉහළ මට්ටමේ ස්විස් සමාගම් ඉතා දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාව තුල ව්‍යාපාරික මෙහෙයුම් සිදුකරනවා. ඔවුන් එවැනි මහා පරිමාණ ආයෝජන මෙරට තුල සිදුකර ඇත්තේ අප රට පිළිබඳව ඇති විශ්වාසය පදනම් කරගෙනයි.
 
එසේ වුවත්, මෙරට තුල තවත් විශාල ආයෝජන අවස්ථාවන් පවතින බැව් මා ස්විස් ආයෝජකයන් වෙත සිහිපත් කිරීමට කැමතියි. ස්විස් ආර්ථිකයෙන් 99% ක්ම සුළු හා මධ්‍ය පරිමාණ අංශයේ ආයෝජනයි. එබැවින් ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ අංශය හා එම අංශයේ ස්විස් සුළු හා මධ්‍ය පරිමාන අංශය හා සබඳතා ගොඩනැංවීම දෙරටටම වාසිදායක අවස්ථා ඇතිකරනු නිසැකයි.
 
ස්විස් රට හා ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක සිට වෙළඳ හා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඉතා මිත්‍රශීලී දෙරටක්. 2014 වසරේදී ස්විස්-ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වීය වෙළඳ අගය ඇමරිකානු ඩොලර් මිලියන 269 ක්ව තිබුණා. මෙය අනාගතයේදී තවදුරටත් වර්ධනය කරගත හැකි තත්වයක්. 2014 දී ශ්‍රී ලංකාව, ඩොලර් මිලියන 140 ක නිෂ්පාදන ස්විට්සර්ලන්තයට අපනයනය කොට තිබෙනවා. අනර්ඝ තත්වයේ ස්වර්ණාබරණ, මුතු හා මැණික් ඒ අතර ප්‍රධාන නිෂ්පාදන වෙනවා. ස්විට්සර්ලන්තයෙන් මෙරටට ආනයනය කළ නිෂ්පාදනයන්හි වෙළඳ අගය, ඇ.ඩොලර් මිලියන 130 යි. දියමන්ති, ඉලෙක්ට්‍රොනික් පද්ධති හා සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ඒ අතරින් ප්‍රධාන වෙනවා.“
 
ස්විස් ආයෝජකයන් හා දේශීය ව්‍යාපාරිකයින් අතර මෙවැනි හමුවීම් හරහා දෙරටටම වැඩි වාසි අත්කරගත හැකි බැවින් මෙවැනි හමුවීම් තව තවත් පැවැත්වීම කාලීන අවශ්‍යතාවයක් බවද පැවසූ අමාත්‍ය බදියුදීන් මහතා, ස්විස් සමාගම් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ සමාජ සේවා හා සත්කාරක ව්‍යාපෘති වෙනුවෙන් තම ස්තුතිය පළකරන බවද වැඩිදුරටත් පැවසීය.
Swiss-lanka Round Table Discussion - 02
ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, “මෙරට ආර්ථිකය පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස මා විශ්වාස කරන්නේ, පසුගිය රජය අපනයන ඉලක්කය ලෙස සලකාගෙන සිටි, වසර 2020 දී, ඇ.ඩො.බිලියන 20 ක ඉලක්කය තවත් ඉහළ නැංවීමට අපට හැකියාව ඇති බවයි.
ඉන්දියාව සමඟ වෙළඳ ගණුදෙනු අඩුකළ යුතු බව හෝ නොකළ යුතු බවට යම් යම් වෙළඳ ව්‍යාපාරිකයින් මත දක්වනවා. වත්මන් ජාත්‍යන්තර ආනයන අපනයන වෙළඳපොල දෙස බලන කල මෙය පිළිගත නොහැකි මතයක් බැව් මා සිතනවා. මොනයම් හෝ රටක් සමඟ වෙළඳ ගණුදෙනු වලින් ඈත්වී සිටීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නැහැ. ඉන්දියාව සම්බන්ධයෙන් ගත්කළ මෙම තත්වය කෙසේවත් කළ නොහැකි තත්වයක්.
 
ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවටත් වඩා කුඩා රටක්. එහෙත් ඔවුන් කිසිම විටෙක, කුමණ රටක් සමඟ හෝ වෙළඳ සබඳතා වලින් වැලකී සිටීමට හෝ ඈත්ව සිටීමට උත්සාහ කර නැහැ. ඒ නිසාම කුඩා රාජ්‍යයක් වුවත්, ජාත්‍යන්තර වෙළඳාමේදී ප්‍රබල ස්ථානයක රැඳීමට ස්විට්සර්ලන්තයට හැකියාව ලැබී තිබෙනවා. එවැනි ජාත්‍යන්තර අත්දැකීම් අප විසින්ද අනුගමනය කළ යුතුයි. එබැවින් කිසිම රටක් සමඟ ඇති වෙළඳ ගණුදෙනු සීමා කිරීම හෝ ඒවායින් වැළකී සිටීම ගැන කිසිවෙකු මත දක්වන්නේ නම් එය අනුවණ සහ වැරදි සහගත එකක් බැව් මා විශ්වාස කරනවා. “
 
හමුව ඇමතූ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති, හෙයින්ස් වෝකර් මහතා පැවසුවේ, ජනවාරි 8 වැනිදා මෙරට ජනතාව පෙන්නුම් කළ සාමකාමී ප්‍රජාතන්ත්‍රීය භාවිතාව පිළිබඳව තමන්ගේ විශ්මයජනක ප්‍රසාදය මේ අවස්ථාවේ පළකර සිටින බවයි. එමෙන්ම 19 වන ව්‍යවස්ථා සංශෝදනය සම්මත කිරීමෙන් පෙන්නුම් කරන ප්‍රජාතන්ත්‍රික ප්‍රතිසංස්කරණ සඳහා ඇති ඉහළ උනන්දුව අගය කරන බවද පැවසූ තානාපතිවරයා, ශ්‍රී ලංකාව සිදුකරන එවැනි සාධනීය ප්‍රතිසංස්කරණ සඳහා සහයෝගය පළකරන බවද පැවසීය.
ස්විට්සර්ලන්තය වෙළඳ සබඳතා පවත්වන ලොව සෙසු රටවල් හා සැසඳීමේදී ශ්‍රී ලංකාව සමඟ වන ද්වීපාර්ශ්වීය වෙළඳාම ඉතා අඩු මට්ටමක පවතින බවත්, එය වර්ධනය කරගැනීමට දෙරටටම යහපත් අවස්ථා උදාවී ඇතැයිද පැවසීය.
 Swiss-lanka Round Table Discussion - 01
සාකච්ඡාවේ ස්තුති කතාව කළ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක, බන්දුල එගොඩගේ මහතා කියා සිටියේ, මෙරට දිඟුකාලීන ස්විට්සර්ලන්ත – ශ්‍රී ලංකා වෙළඳ හා ආයෝජන නව මානයකට ගෙනයාමට මෙම හමුව සමත්වනු ඇති බවයි. එමෙන්ම මෙය සාර්ථක කරගැනීමේලා දායකත්වය දැක්වූ දේශීය හා ස්විස් සමාගම් වෙත සිය ස්තුතිය පළකරන බවද එගොඩගේ මහතා වැඩිදුරටත් පැවසීය.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, එස්.එස්. මියනවෙල, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, ආර්.ඩී.එස්. කුමාරරත්න යන මහත්වරුන්ද, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ජීවනී සිරිවර්ධන මහත්මියද, මෙරට ස්ථාපිත ස්විස් සමාගම් නියෝජිතයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *