2015 ලෝක ප්‍රතීතන දින සැමරුම් උළෙල පසුගියදා (09) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ කිංස්බරි හෝටලයේදී පැවැත්විණි. මෙවර එම සැමරුමේ තේමාව වූයේ  බලගැන්වීම, සමාජ හා සෞඛ්‍ය සත්කාරයන් බෙදා දීමට එක්වීම යන්නයි.
අංක 32 දරණ, පාර්ලිමේන්තු පණත මගින් 2005 දී මෙරට ස්ථාපිත කළ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB), පරීක්ෂණ සේවා (testing), සහතික කිරිම් (certification) සහ ක්‍රමාංකණ සේවා (calibration) නැවත සහතික කිරීම් හා ඒවා සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිකර දීම සඳහා ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යුහයයි. වෛද්‍ය පරීක්ෂණාගාර හා විවිධ වර්ගයේ රසායනාගාරද, විවිධ වර්ගීකරණ යටතේ වන සහතික කිරිමේ ක්‍රමවේද සහ ක්ෂේත්‍ර ගණනාවකට අයත් පිරික්සුම් ක්‍රමවේදද ශ්‍රි ලංකා ප්‍රතිතන මණ්ඩලය මගින් ප්‍රතීතනය (සහතික කිරීම් පිළිගැනීම) කරනු ලබයි.
සැමරුම් උළෙලේ ප්‍රධාන දේශණය පවත්වමින් අමාත්‍ය බදියුදීන් මහතා පැවසුවේ, මෙරට පරීක්ෂණාගාර හා රසායනාගාර සේවා සහතික කිරීම් ජාත්‍යන්තර තත්වයේ පිළිගැනීමකට ලක්කරවීමට ශ්‍රි ලංකා ප්‍රතීතන මණ්ඩලය සමත්ව ඇති බවයි. ඒ හේතුවෙන් චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව හා සෞදි අරාබිය වැනි රටවල් ඔවුන්ගේ රටවල්හි පරීක්ෂණාගාර වල ප්‍රතීතනය සඳහා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයට ඇරයුම් කිරීම සතුටට කරුණක් බවද අමාත්‍යවරයා පැවසීය. තවද මෙරට ක්‍රියාත්මක වාහන දුම් පරීක්ෂණ මධ්‍යස්ථාන මගින් නිකුත් කරන ඇතැම් දුම් සහතික විශ්වාසනීය නොවන බවට පාරිභෝගිකයන් ඉදිරිපත් කරන මැසිවිලි සැලකිල්ලට ගනිමින්, අදාල දුම් පරීක්ෂණ මධ්‍යස්ථාන වල පරීක්ෂණ සේවාවන් මේ වසර තුලදීම ප්‍රතීතනය කිරීමටද මණ්ඩල කටයුතු කරමින් සිටින බවද බදුදියුදීන් අමාත්‍යවරයා කියා සිටියේය. එමෙන්ම ප්‍රථම වතාවට මෙරට වන සම්පත ප්‍රතීතනය කිරීම සඳහාද මණ්ඩලයේ සැලකිල්ල යොමුවී ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
acceditation day 04
එම මණ්ඩලයේ සභාපති, නීතීඥ නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩලය නොකඩවා ලෝක ප්‍රතීතන දිනය සමරන හත් වැනි අවස්ථාව මෙය බවයි. තවද ජාත්‍යන්තර ආසියා පැසිෆික් මහා සමුළුවේ සත්කාරකත්වය දැරීමට ලැබීම ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයක් බැව්ද රාජපක්ෂ මහතා පැවසීය. ප්‍රතීතන ක්‍රියාවලියට අදාල මඟ පෙන්වීම් සැකසීමත්, නව වැඩපිළිවෙලවල් යෝජනා කිරීමත්, දැනට ක්‍රියාත්මක මිණුම් දඩු යාවත්කාලීන කිරීම හා තක්සේරු ක්‍රමවේදයන්ට අදාල පුළුල් වටාපිටාවක් සැකසීමත්, මෙම සමස්ථ ක්‍රියාමාර්ගයන්ට ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමත් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුවේ දස දින වැඩසටහන් (ජුනි 12 – 21) තුලදී සිදුකිරීමට නියමිත බැව්ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
උත්සව සභාව ඇමතූ ප්‍රතීතන මණ්ඩලයේ අධ්‍යක්ෂක, තිලක් වික්‍රමසිංහ මහතා පැවසුවේ, තම ආයතනය මගින් ක්‍රියාත්මක කරන ප්‍රතීතන ක්‍රියාවලිය හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණ සහ රේඛීය ආයතනයන්හි සේවය වඩාත් විශ්වාසනීය වී ඇති බවයි. පාරිභෝගිකයෙකු, තම ආයතනය විසින් ප්‍රතීතනයට ලක්කර ඇති වෛද්‍ය සේවාවක් හෝ එවැනි ආයතනයක් හරහා ලබාගන්නා යම් වාර්තාවක් වේනම් ඒවා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත බවට සහතික විය හැකි බවද ඒ මහතා පැවසීය.
acceditation day 01
අන්තර් ජාතික ප්‍රතීතනය කිරීමේ සංසදය (IAF) සහ අන්තර් ජාතික පරීක්ෂණාගාර ප්‍රතීතනය කිරීමේ සංස්ථාව (ILAC) ට අනුබද්ධ, ආසියා පැසිෆික් පරීක්ෂණාගාර ප්‍රතීතන සංස්ථාව (APLAC) සහ පැසිෆික් ප්‍රතීතන සංස්ථාවේ (PAC) මහා සභා රැස්වීමේ 2015 වසරේ සත්කාරක රට වන්නේද ශ්‍රී ලංකාවයි. ඒ අනුව, ජුනි මස 12  සිට 21 වැනිදා දක්වා ඒකාබද්ධ සහ කේවල තාක්ෂණික සැසි, සම්මන්ත්‍රණ, වැඩමුළු, කමිටු රැස්වීම්, මහා සභා රැස්වීම හා තාක්ෂණික ක්ෂේත්‍ර චාරිකා ඇතුළු විවිධ වැඩසටහන් රැසක් මෙරටදී පැවැත්වෙනු ඇත. ආසියා පැසිෆික් පරීක්ෂණාගාර ප්‍රතීතන සංස්ථාවේ සෘජු සාමාජිකත්වය දරණ රටවල් 42 ක්ද, ආශ්‍රිත සේවාලාභී රටවල් 11 ක්ද නියෝජනය කරමින් 200 ක පමණ දූත පිරිස් මේ සඳහා  සහභාගී වීමට නියමිතය.
2014 වසරේදී, ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය දිවයිනේ පිහිටි රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විද්‍යාගාර, පරීක්ෂණාගාර හා රසායනාගාර සහිත ආයතන 83 ක් ප්‍රතීතනය කර තිබේ. සැමරුම් උළෙලේදී, ඒ.බවර් සහ සමාගම, බියුරෝ වෙරිටාස් සමාගම, ටෝකියෝ සිමෙන්ති සමාගම යන පෞද්ගලික සමාගම් වලට අයත් පරීක්ෂණාගාර සඳහාද, ඇන්සල් ලංකා සමාගමේ පරීක්ෂණාගාරය හා එහි තත්ව පාලන අංශය සඳහාද ප්‍රතීතන සහතික නිකුත් කිරීම අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා අතින් සිදුකෙරිණි.
acceditation day 03

Leave a Reply

Your email address will not be published. Required fields are marked *