මෙරට පරීක්ෂණාගාර හා රසායනාගාර සේවා සහතික කිරීම් ජාත්‍යන්තර තත්වයේ පිළිගැනීමකට ලක්ව ඇති බවත්, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව හා සෞදි අරාබිය වැනි රටවල් ඔවුන්ගේ රටවල්හි පරීක්ෂණාගාර වල ප්‍රතීතනය සඳහා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයට ඇරයුම් කිරීම සතුටට කරුණක් බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ කොළඔදී අද (15) පැවති ආසියා පැසිෆික් පරීක්ෂණාගාර ප්‍රතීතන සංස්ථාව (APLAC) සහ පැසිෆික් ප්‍රතීතන සංස්ථාවේ (PAC) මහා සභා රැස්වීම අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයට සම්බන්ධ ISO සහතික කිරීම් 2013 වසරේදී 15% කින් වර්ධනය වී තිබෙනවා. මෙයින් පෙනී යන්නේ සෞඛ්‍ය අංශයේ තාක්ෂණික හා විද්‍යාත්මක සංවර්ධනයයි. මේ හැරුණු විට 2012 වසර වන විට ISO නව සහතික කිරීම් 145 ක් ශ්‍රී ලංකාවේ ආයතන වෙත ලබාදී තිබෙනවා. මීට අමතරව නව ජාත්‍යන්තර ප්‍රමිතීන් 14 ක් ශ්‍රි ලංකාව තුළ ස්ථිර කොට තිබෙනවා. මෙරට පරීක්ෂණාගාර හා රසායනාගාර සේවා සහතික කිරීම් ජාත්‍යන්තර තත්වයේ පිළිගැනීමකට ලක්කරවීමට ශ්‍රි ලංකා ප්‍රතීතන මණ්ඩලය සමත්ව තිබෙනවා. ඒ හේතුවෙන් චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව හා සෞදි අරාබිය වැනි රටවල් ඔවුන්ගේ රටවල්හි පරීක්ෂණාගාර වල ප්‍රතීතනය සඳහා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයට ඇරයුම් කිරීම සතුටට කරුණක්. එමෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ප්‍රතීතනය නිසාවෙන් මෙරට අපනයන ක්ෂේත්‍රයේ ප්‍රශස්ථ තරඟකාරීත්වයක් ඇතිවී තිබෙනවා. එහි සාධනීය පියවරක් ලෙස මේ වසරේදී ජාතික කාබනික පාලන ඒකකයක් පිහිටුවනු ලැබූ අතර, එමගින් කාබනික නිෂ්පාදන අධීක්ෂණයට කටයුතු කරනු ඇති.
තවද මෙරට ක්‍රියාත්මක වාහන දුම් පරීක්ෂණ මධ්‍යස්ථාන මගින් නිකුත් කරන ඇතැම් දුම් සහතික විශ්වාසනීය නොවන බවට පාරිභෝගිකයන් ඉදිරිපත් කරන මැසිවිලි සැලකිල්ලට ගනිමින්, අදාල දුම් පරීක්ෂණ මධ්‍යස්ථාන වල පරීක්ෂණ සේවාවන් මේ වසර තුලදීම ප්‍රතීතනය කිරීමටද මණ්ඩල කටයුතු කරමින් සිටින බවද බදුදියුදීන් අමාත්‍යවරයා කියා සිටියේය. තායිවානයේ පැවැත්වීමට නියමිත මීලඟ සමුළුව වන විට ජාත්‍යන්තර ප්‍රතීතන ක්ෂේත්‍රය තවත් නව මානයන් කරා ව්‍යාප්තව පවතිනු ඇතැයිද ඇමතිවරයා වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.
ආසියා පැසිෆික් පරීක්ෂණාගාර ප්‍රතීතන සංස්ථාව (APLAC) සභාපති, නයිජල් ජෝ මහතා පැවසුවේ, ලෝකයේ ප්‍රතීතන සංවිධාන ගත්කළ, ආසියා පැසිෆික් සංස්ථාව විශාලතම සංවිධානය බවයි. එම ආයතනය, රටවල් 26 කින්ද, සංවිධාන 424 කින්ද සමන්විත බැව් සභාපතිවරයා පැවසීය.
අන්තර් ජාතික ප්‍රතීතනය කිරීමේ සංසදය (IAF) සහ අන්තර් ජාතික පරීක්ෂණාගාර ප්‍රතීතනය කිරීමේ සංස්ථාව (ILAC) ට අනුබද්ධ, ආසියා පැසිෆික් පරීක්ෂණාගාර ප්‍රතීතන සංස්ථාව (APLAC) සහ පැසිෆික් ප්‍රතීතන සංස්ථාවේ (PAC) මහා සභා රැස්වීමේ මෙම වසරේ සත්කාරක රට වන්නේද ශ්‍රී ලංකාවයි. ඒ අනුව, ජුනි මස 12  සිට 21 වැනිදා දක්වා ඒකාබද්ධ සහ කේවල තාක්ෂණික සැසි, සම්මන්ත්‍රණ, වැඩමුළු, කමිටු රැස්වීම්, මහා සභා රැස්වීම හා තාක්ෂණික ක්ෂේත්‍ර චාරිකා ඇතුළු විවිධ වැඩසටහන් රැසක් මෙරටදී පැවැත්වෙනු ඇත. ආසියා පැසිෆික් පරීක්ෂණාගාර ප්‍රතීතන සංස්ථාවේ සෘජු සාමාජිකත්වය දරණ රටවල්ද, ආශ්‍රිත සේවාලාභී රටවල්ද නියෝජනය කරමින් 200 ක පමණ දූත පිරිස්ද, ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ සභාපති, නීතීඥ නාමල් රාජපක්ෂ මහතාද, සාමාජික රටවල් නියෝජනය කරමින් විදේශීය දූත පිරිස් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *