ඇමෙරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම නව සංදිෂ්ඨානයකට පිවිස ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ඇමරිකා තානාපති අතුල් කිෂාප් මහතා සහ දකුණු ආසියාව පිළිබඳ ඇමරිකානු වෙළඳ නියෝජිත මයිකල් ජේ. ඩෙලනි මහතා ඇතුළු දූත පිරිසක් හමුවීමෙන් අනතුරුවය. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ.බී.තෙන්නකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද මේ සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

මෙම හමුවේ දී දකුණු ආසියාව පිළිබඳ ඇමෙරිකානු වෙළඳ නියෝජිත මයිකල් ජේ ඩෙලනි කියා සිටියේ වොෂිංටනයේ දී පසුගිය අප්‍රේල් මස 28 වැනි දින සකස් කරන ලද ක්‍රියාකාරී වෙළඳ සැළැස්මකට අනුව ශ්‍රී ලංකාව සමග ඉතා සුහදශීලීව කටයුතු කරන බවයි.

පසුගිය අප්‍රේල් මස 28 වැනි දින ඇමෙරිකාවේ වොෂිංටන් නගරයේ දී එක්සත් ජනපද – ශ්‍රී ලංකා වෙළඳ හා ආයෝජන රාමුව පිළිබඳ 12 වැනි රැස්වීම පැවැත්විණි. එක්සත් ජනපද වෙළඳ නියෝජිත මයිකල් ෆ්‍රෝමන් සහ ශ්‍රී ලංකාවෙ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහත්වරු මේ රැස්වීමේ මුලසුන හෙබවීය. එහිදී එකඟනවූ කරුණු හා ආයෝජන අවස්ථා සහ හැකියාවන් සැළකිල්ලට ගනිමින් ක්‍රියාකාරී වෙළඳ සැලැස්ම සකස්කර සම්මත කරගන්නා ලදී ලදී.

දකුණු ආසියාව පිළිබඳ ඇමෙරිකානු වෙළඳ නියෝජිත මයිකල් ජේ.ඩෙලනි මෙසේ කීවේය.

‘‘එක්සත් ජනපදයේ දී අපි සකස් කළ ක්‍රියාකාරී සැලැස්ම අනුව ඉදිරියේ දී කටයුතු කිරීමට අපේක්ෂා කරනවා. දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම වර්ධනය කරගන්න මෙයින් ඉතා අගනා අවස්ථාවක් ලැබි තිබෙනවා. ශ්‍රී ලංකාවේ නව රජය කරගෙන යන ආර්ථික හා සමාජයීය ප්‍රතිසංස්කරණ හමුවේ අපිට එම ක්‍රියාවලියට උදව්කරන්න හැකියාව තිබෙනවා. විශේෂයෙන් ම ඇඟළුම් කර්මාන්තය ශක්තිමත් කරන්න අපේ අවධානය යොමුවී තිබෙනවා. “

මෙහිදී අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා එක්සත් ජනපද නියෝජිත පිරිසට ස්තූතිය පල කරමින් මෙසේ කිවේය.

‘‘ මා 2010 වර්ෂයේ දී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කිරිම ආරම්භ කරන අවස්ථාවේ දී පවා ඇමෙරිකාව දිගින් දිගටම අව දිරිමත් කළා. ඇමෙරිකාව හැමදාමත් අප රටට ශක්තියක් වුණා. මේ අවස්ථාව අපේ රටට ලැබුණු අනගි අවස්ථාවක්. මෙතෙක් තිබූ ක්‍රමවේදයට වඩා නිශ්චිත වැඩ රාමුවක් ඔස්සේ කටයුතු කිරීමට හැකිවීම වඩාත් ස්ථාවර ලෙස අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න මෙය හොඳ අවස්ථාවක් වේවි. දැනටමත් අපේ විශාලතම අපනයන වෙළඳ පොළ තිබෙන්නේ ඇමෙරකාවේ එය සම්පූර්ණ වෙළඳාමෙන් සියයට 23ක් වෙනවා. මෙය ඉදිරියේ දී තවදුරටත් වර්ධනය කිරීම අපේ ඉලක්කය. ඒ වෙනුවෙන් දැනටමත් ඇමෙරිකාව සහයෝගය ලබාදීමට එකඟ වී සිටීම සතුටට කරුණක්.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *