ස්වීඩන වෙළෙඳ පොළට අපේ නිෂ්පාදන යැවීමට හැකියාව ලැබීම ආර්ථික වශයෙන් අප ලැබූ විශාල ජයග්‍රහණයක් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය 15 වැනිදා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී ස්වීඩනය හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳාම වර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනයනකරුවන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවකට සහභාගී වෙමිනි.

අමාත්‍යවරයා මෙසේ ද කීය. ‘‘මේ වනවිට යුරෝපා සංගමය විසින් ජී.එස්.පී. ප්ලස් සහනය අපට නැවත දී තිබෙනවා. අපේ අපනයන වෙළෙඳාම වර්ධනය කර ගැනීමට එය මහත් රුකුලක් වනවා. අපේ රටේ දැනට පවතින ජාතික රජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කිරීම කෙරෙහි විශාල අවධානයක් යොමු කර තිබෙනවා. අපි යුරෝපා රටවල් සමග ද්විපාර්ශ්වීය සම්බන්ධතා ඇතිකර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ස්වීඩනය යුරෝපා සංගමයේ රටවල් අතරින් මෙරට ආර්ථිකයට දායකවන අටවැනි විශාලතම වෙළෙඳ පොළට හිමිකම් කියනවා. එය තවදුරටත් වර්ධනය කරගැනීමට අපි වැඩි අවධානයක් යොමු කරනවා. ඒ අනුව ස්වීඩන රජය නියෝජනය කරමින් මේ ස්ථානයට පැමිණි සියලු දෙනාට මා ස්තුති කරනවා.

අපේ රටේ නිෂ්පාදන සඳහා ස්වීඩන් වෙළෙඳපොළේ ඉඩ ලබා දීමට කටයුතු කිරීම, රටවල් දෙක අතර, ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය වීමටත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු වීමටත් හේතුවක් වෙනවා. සමස්ථ ස්කැන්ඩිනේඩියානු වෙළෙඳ පොළ පමණක් ශ්‍රී ලංකා රුපියල් බිලියන 1.7ක් වනවා. ස්වීඩන වෙළෙඳ පොළෙන් ශ්‍රී ලංකාව 2015 වර්ෂයේ දී ලැබූ අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 64ක් වූ අතර එය 2016 වර්ෂයේ දී ඇමෙරිකන් ඩොලර් මිලියන 69ක් දක්වා වර්ධනය වී තිබෙනවා. මෙය අප ලැබූ විශාල ජයග්‍රහණයක්. කුරුඳු, තේ, පොල්, වියලන ලද පළතුරු සහ එළවළු, කුළුබඩු වර්ග සහ කාබනික නිෂ්පාදන අපි ස්වීඩන වෙළෙඳ පොළ සඳහා ඉදිරිපත් කිරීමට අප අපේක්ෂා කරනවා. ඒ වගේ ම ඇඟලුම්, රබර් නිෂ්පාදන, ළදරු සෙල්ලම් බඩු, පිඟන් හා විසිතුරු භාණ්ඩ ඇතුළු නිෂ්පාදන 8000ට වඩා අපනයනය කරමින් තිබෙනවා. මේ නිෂ්පාදනවල අගය වැඩි සහ ගුණාත්මක බව වැඩි කරමින් තවත් වෙළෙඳපොළ අවස්ථා ලබා ගන්නා ආකාරය පිළිබඳ අපේ අපනයනකරුවන් අවධානය යොමු කර තිබෙනවා. අප අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව මේ වැඩමුළුව සංවිධානය  කරන්නේ අපේ අපනයනකරුවන්ට අවස්ථාව ලබා දෙමින් වඩාත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ අපේක්ෂාවෙන්.

වැඩමුළුව ඇමැතූ නවදිල්ලියේ ස්වීඩන දේශපාලන කටයුතු පිළිබඳ උපදේශිකා ඇනා උග්ලා මහත්මිය කියා සිටියේ ස්වීඩනය ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති බවයි. ඉතා ගුණාත්මක හා රසවත් සෞඛ්‍ය ආරක්ෂිත ආහාර නිෂ්පාදන සඳහා ස්වීඩනයේ වෙළෙඳපොළ විශාල ඉඩක් පවතින බවත් එවැනි නිෂ්පාදන ස්වීඩනයට එවීමට ශ්‍රී ලාංකීය අපනයන කරනුවන් වඩාත් උනන්දුවිය යුතු බවත් ඇය සඳහන් කළාය.

ස්වීඩන ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදයේ ලේකම් ලේස් ඕල්සන් මහතා මෙසේ කීවේය.‘‘අප ශ්‍රී ලංකාව සමග කටයුතු කරන්නේ ඉතා සතුටකින්. ශ්‍රී ලංකාවේ අපනයන කරුවන් අපේ වෙළෙඳපොළට අවශ්‍ය ආකාරයෙන් තමන්ගේ නිෂ්පාදන ඉතා ඉක්මණින් වර්ධනය කරගත්තා. පසුගිය වසර කිහිපයේ දී මේ තත්ත්වය දක්නට ලැබීම සතුටක්. ඒ වගේම අපි ඉතා සහයෝගයෙන් ශ්‍රී ලංකා සමාගම් සමග කටයුතු කරනවා. ස්වීඩනයේ ශක්තිමත් ආර්ථිකක් තියෙනවා. දකුණු ආසියානු කලාපයේ ආයෝජනයටත්, විශේෂයෙන් මේ කලාපයේ වැදගත් ආර්ථික මධ්‍යස්ථානයක් වන ශ්‍රී ලංකාවේ ආයෝජනයට හා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අපේ ස්වීඩන වෙළෙඳපොළට ගෙන ඒමටත් අපි අතර ඇති ද්විපාර්ශ්වික සබඳතා වැදගත් වනවා. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ඉතා උසස් ගුණාත්මක බවකින් යුක්තයි. මේ නිසා හොඳ ඉල්ලුමක් තිබෙනවා.

මේ අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි මහතා ද සහභාගී වී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *