ජල ගැලීම් වලින් පීඩාවට පත් රත්නපුර ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීම සදහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (03) රත්නපුර ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුරදී එම ප්‍රදේශවල රාජ්‍ය නිළධාරීන්ගෙන්, සිදුව ඇති ආපදාව පිළිබද විධිමත්ව කරුනු දැන ගැනීම හා ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම පිළිබදව විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මේ අවස්ථාවට අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ .සෙනෙවිරත්න ,මනෝ ගනේෂන්,රත්නපුර දිස්ත්‍රික් පාර්ල්මේන්තු මන්ත්‍රී ඒ.විජේතුංග, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස් ලොකුහෙට්ටි ,රත්නපුර දිස්ත්‍රික් ලේකම් තුමිය,කුරුවිට,කිරිඇල්ල හා රත්නපුර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය නිළධාරීන් මෙන්ම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට අයත් ආයතන වල සභාපතිවරුන් ඇතුලු නිළධාරීන් පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වුහ.

හදිසි ගංවතුර තත්වයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 50000 කට වැඩි සංඛ්‍යාවක් ආපදාවට ලක්ව ඇති බවත් රත්නපුර මැතිවරණ බල ප්‍රදේශයේ පමණක් පවුල් 16000 කට වැඩි පිරිසක් ආපදාවට ලක්ව ඇතිබවත් මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය වී ඇත.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේ රත්නපුර ප්‍රදේශයේ මෙම ගංවතුර තත්වයෙන් ආපදාවට ලක්වු ජනතාවගේ ජීවන තත්වය යලි නගා සිටුවීම සදහා කටයුතු කිරීමට තමා පත් කිරීම පිළිබද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ස්තූතිය පළ කරන බවත් ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිළධාරීන් හා එකතුව මෙම ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය යලි ගොඩ නගන බවයි.විශේෂයෙන් මෙම ව්‍යසනයෙන් හානියට පත් විහාරස්ථාන ඇතුලු ආගමික ස්ථාන යලි ගොඩ නැගීමට අවශ්‍ය ප්‍රතිපාදන හැකි ඉක්මනින් ලබාදීමටද පූර්ණ හානි සිදුවු නිවාසයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 25 ලබාදීමටද කටයුතු කරන බව ද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.මෙලෙස ආපදාවට ලක්වූ රත්නපුර දිස්ත්‍රික්කයයේ ජනතාවගේ ජීවන තත්වය යලි ගොඩ නැගීමට රුපියල් මිලියන530 ක් පමණ වැයවන බවද එම මුදලින් රුපියල් මිලියන 133 ක් පමණ රත්නපුර මැතිවරණ බල ප්‍රදේශය නැවත ගොඩ නැගීම සදහා වැයවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *