ශ්‍රී ලංකාවේ ඉරාක තානාපති, ගරු කහ්ටාන් ටහා කලාෆ් මහතා (His Exelency, Kahalf Taha Khalaf) පෙබරවාරි 19 වන දා පෙරවරුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා හමුවී ද්වීපාර්ශ්වීය වෙළද සබදතා තරකර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.
 ඉරාකය විසින් නිෂ්පාදනය කරනු ලබන බොරතෙල් වර්ගයක් වන ‘බස්රා ලයිට්’ ශ්‍රී ලංකාවට ලබාදීමට තම රජය කැමැත්තෙන් පසුවන බැව් කලාෆ් මහතා මෙහිදී පැවසීය. එමෙන්ම සංචාරක සෞඛ්‍ය පවසුකම් ලබාගැනීම වෙනුවෙන් වසරකට 20,000 ක් පමණ ඉරාක වැසියන් විදේශ රටවලට ඇදී යන බැව්ද පැවසූ ඒ මහතා, ශ්‍රී ලංකාවේ සංචාරක සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉතා ඉහළ තත්වයක පවතින බැවින් එම පිරිසෙන් සැලකියයුතු පිරිසක් ශ්‍රී ලංකාවට යොමුකිරීමේ හැකියාවක් ඇතැයිද සදහන් කළේය. තවද ශ්‍රී ලංකාව නිපදවන උසස් තත්වයේ තේ ඉරාකය විශාල වශයෙන් මිලදී ගන්නා බැව් වැඩිදුරටත් පැවසීය.
 මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා, මාර්තු මස 24 වැනිදා ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා-ඉරාක ඒකාබද්ධ වෙළද සාකච්ඡා වලදී බස්රා ලයිට් බොරතෙල් අපනයනය සම්බන්ධ යෝජනාව නිලවශයෙන් ශ්‍රී ලංකාවට යොමුකරන ලෙස තානාපතිවරයාගෙන් ඉල්ලා සිටින ලදී. එමෙන්ම එම වෙළද සාකච්ඡා සදහා ප්‍රබල ශ්‍රී ලාංකික නියෝජිත පිරිසක් සමග තමා සහභාගී වීමට නියමිත බැව් සදහන් කළ අමාත්‍යවරයා, එහිදී ආර්ථික, වාණිජ, අධ්‍යාපන, ගුවන් සබදතා, සංචාරක හා සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන්ට අදාලව ද්වීපාර්ශ්වීය සහයෝගීතාවයන් පුඵල් කර ගැනීමට අදහස් කොට ඇතැයිද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *