ජාතික පවිත්‍රතා නිෂ්පාදන මධ්‍යස්ථානය වාර්ෂිකව සංවිධානය කරනු ලබන, “ජාතික පවිත්‍රතා නිෂ්පාදන සම්මාන උළෙල – 2013”, කොළඹ, ගලදාරී හෝටලයේ, ග්‍රෑන්ඩ් බෝල්රූම් හිදී පසුගියදා (19) පැවැත්විණි.
 කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර, ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනී, ග්‍රේට් ලෝචෙන් මහත්මියද (HE. Grete Lochen) මෙම අවස්ථාවට එක්වූවාය.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ බලශක්ති ඉතිරිය, යන්ත්‍ර හා උපකරණ වල කාර්ය්‍යක්ෂමතාව ඉහළ නැංවීම, ජල ප්‍රතිචක්‍රීයකරණය සහ ජල පරිහරණය කාර්ය්‍යක්ෂම කරවීම යන අරමුණු පෙරදැරිව, ජාතික පවිත්‍රතා නිෂ්පාදන මධ්‍යස්ථානය විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.
Cleaner award 02
මෙහිදී ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වූ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා, “කාර්මික නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ මේ අයුරින් ක්‍රියාත්මක පවිත්‍රතා නිෂ්පාදන ක්‍රමවේදයන් කාලීන අවශ්‍යතාවයක්. එමෙන්ම එය ලාභදායී ව්‍යාපාරික මෙවලමක්. පවිත්‍රතා නිෂ්පාදන මූලධර්ම අනුගමනය කිරීම පාරිසරික හිතකාමී කර්මාන්ත කරණයක් උදෙසා මුලපිරීමක්ද වෙනවා. තවද මෙය විශාල ලෙස වියදම් අවම කර ගත හැකි මූලධර්මයක්. එසේ තිබියදී මෙම මූලධර්ම පිළිබදව නොතකමින් කටයුතු කිරීමෙන් ඉතා විශාල ආයෝජනයක් හා වියදමක් දැරීමට කර්මාන්තකරුවන්ට සිදුවීම වැලැක්විය නොහැකියි.
 
බංගලිදේශයේ ඇගලුම් කර්මාන්තය, පවිත්‍රතා නිෂ්පාදන ක්‍රමවේද භාවිතයෙන් 2011-2012 වසරේදී පමණක් ඔවුන්ගේ වියදම් වලින් ඇමරිකානු ඩොලර් මිලියනයකට වඩා ඉතිරි කර ගැනීමට සමත් වුණා. ජාතික පවිත්‍රතා නිෂ්පාදන මධ්‍යස්ථානයේ වත්මන් ක්‍රියාමාර්ග හේත්‍රවෙන් ශ්‍රී ලංකාවේ සමාගම් තුළ ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 750,000 ක් පමණ (රු.මිලියන 97 ක් පමණ) ඉතිරි කර ගැනීමට අනුබල දී ඇති බැව් අප අනුමාන කරනවා.
අමාත්‍ය බදියුදීන් මහතා මෙහිදී තවදුරටත් කියා සිටියේ, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් අධ්‍යක්ෂ මණ්ඩලයකින් යුතු ජාතික පවිත්‍රතා නිෂ්පාදන මධ්‍යස්ථානය සිදුකරන්නාවූ මෙම සේවය තමා අගය කරන බවයි. එමෙන්ම එම ආයතනය පසුගිය වසර 10 ක කාලය තුළ කාර්මික අංශයේ නියුතු වූවන් උදෙසා රුපියල් මිලියන 50 කට වැඩි වටිනාකමකින් යුතු පුහුණුවීම් ලබාදී ඇතැයිද, ඒ යටතේ කාර්මික නිෂ්පාදන ක්ෂේත්‍රයේ ශ්‍රමිකයින් 5000 ක් පමණ පුහුණු කර ඇතැයිද පැවසීය. යුනිඩෝ ආයතනය (UNIDO) හරහා ජාතික පවිත්‍රතා නිෂ්පාදන මධ්‍යස්ථානය සදහාත්, පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති සදහාත් නිර්ලෝභීව මූල්‍ය පහසුකම් සැපයූ නෝර්වේ රජයටත් එම ජනතාවටත් තම උණුසුම් ප්‍රණාමය පිරිනමන බවද අමාත්‍ය බදියුදීන් මහතා වැඩිදුරටත් පැවසීය.
සම්මාන ප්‍රදානය අමාත්‍ය, බදියුදීන් මහතා අතින් සිදුවූ අතර, ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය නගාසිටුවීම සදහා දැක්වූ දායකත්වය වෙනුවෙන්, එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) ජිනීවා හි, කර්මාන්ත ප්‍රවර්ධන නිලධාරීනී, පෙට්රා ස්ක්වේගර් (Petra Schwager) මහත්මිය විශේෂ ඇගයීමට ලක්වූවාය.
එම්.ඒ.එස්. ඇක්ටිව් (MAS Active) සමූහයට අයත්, මිද්දෙනියේ ඒෂියා ලයින් (Asia Line) සමාගම 2013 ජාතික පවිත්‍රතා නිෂ්පාදන අංශයේ රන් සම්මානය හිමිකර ගත්තේය. මෙම සමාගම ලෝපතල Nike, Polo, Ralph Lauren යනාදී විලාසිතා ඇගලුම් සමාගම් වලට තම නිෂ්පාදන අපනයනය කරයි. හබරණ, සිනමන් ලොජ් හෝටලය, ලංකෙම් ලංකා සමාගම, සී/ස. විජය  ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ හෝකන්දර මුද්‍රණාල පරිශ්‍රය, ඒ.සී.එල්.කේබල්ස් (ACL Cabals) සමාගම, අවිස්සාවේල්ල එම්.ඒ.එස්. ඇක්ටිව් කර්මාන්ත ශාලාව සහ කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා (Coca Cola) යන සමාගම් රිදී හා ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය.
පවිත්‍රතා නිෂ්පාදන මධ්‍යස්ථානයේ සභාපති, ඒ.කේ.රත්නරාජා, එහි අධ්‍යක්ෂ, සේන පීරිස් යන මහත්වරුන්ද කතාකළ අතර, සම්මාන ලාභීන්, කර්මාන්ත කරුවන් ඇතුඵ විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
Cleaner award 03

Leave a Reply

Your email address will not be published. Required fields are marked *