ඇඟලුම් පුහුණුව සඳහා අගනුවරින් පිටත ආරම්භ කළ ප්‍රථම ඇඟලුම් පුහුණු මධ්‍යස්ථානය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මන්නාරම මුවර් වීදියේ, අංක 127/18 A දරණ ස්ථානයේදී විවෘත කෙරිණි. කොරියානු ජනරජය, කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (Korea International Cooperation Agency – KOICA) හරහා පිරිනැමූ ඇමරිකානු ඩොලර් 20,000 ක මූල්‍යධාර යටතේ මෙම මධ්‍යස්ථානය ආරම්භ කොට තිබේ.
 සීග්‍රයෙන් දියුණු වන ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය ශ්‍රම බලකාය පුහුණු කිරීම ව්‍යාපෘතියේ අරමුණ වන අතර, මෙහි පළමු පාඨමාලාව යටතේ උතුරු පළාත සඳහා යෙදවීමට බලාපොරොත්තු වන පුහුණුකරුවන් 20 දෙනෙකු පුහුණු කෙරෙනු ඇත. ඔවුන් සඳහා ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයට අදාල පූර්ණ කාලීන සය මාසික (06) පුහුණු පාඨමාලාවක් ලබාදෙන අතර, ඉන් අනතුරුව ඔවුන් පුහුණුකරුවන් ලෙස සේවයේ යොදවනු ඇත.
KOICA 02
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතාගේ උපදෙස් අනුව, එම අමාත්‍යාංශය යටතේ වන, ශ්‍රී ලංකා රෙදිපිළි හා ඇඟලුම් අභ්‍යාස පුහුණු ආයතනය (Sri Lanka Institute of Textile & Apparel – SLITA) යටතේ මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ. කොරියානු මූල්‍යාධාර යටතේ, අතිනවීන ජුකී මැෂින් 13 ක්, යාන්ත්‍රික රෙදිපිළි කැපුම් යන්ත්‍රයක් ඇතුඵ ඇඟලුම් යන්ත්‍රෝපකරණයන්ද, රෙදිපිළි මැදීමේ උපකරණ මෙන්ම ගෘහ හා කාර්යාලීය භාණ්ඩ හා උපකරණයන්ද මෙහි ස්ථාපිත කොට තිබේ.
මෙය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්, අමාත්‍ය, බදියුදීන් මහතා ප්‍රකාශ කළේ, අතිගරු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ අවධානය උතුරු ප්‍රදේශයට යොමුවී ඇති බවත්, එහි ප්‍රථිථලයක් වශයෙන් උතුරු පළාත දැන් සීග්‍රයෙන් දියුණුවට පත්වෙමින් තිබෙන බවත්ය. එමෙන්ම, මෙම වසරේ පමණක් මන්නාරම් ප්‍රදේශයේ  සංවර්ධන කටයුතු වෙනුවෙන් රජය රුපියල් මිලියන 21,000 ක් ලබාදී ඇති බවද හෙතෙම සඳහන් කළේය. ප්‍රදේශයේ සිදුවන කඩිනම් සංවර්ධනයට සාපේක්ෂව නව රැකියා සඳහා වන ඉල්ලුමද ඉහළ ගොස් ඇති බැව් පැවසූ බදියුදීන් අමාත්‍යවරයා, මෙවැනි මධ්‍යස්ථාන හරහා එම ඉල්ලුමට සරිලන පුහුණු ශ්‍රමිකයින් බිහිකිරීමට හැකියාව ලැබෙන බැව්ද පැවසීය. මෙවැනි සම්පතක් මන්නාරම් ප්‍රදේශයට ලබාදීම සම්බන්ධයෙන් තමාගේත්, තම අමාත්‍යාංශයේත්,  ප්‍රදේශයේ ජනතාවගේත් ස්තුතිය කොරියානු රජයට පිරිනමන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
පුහුණුව සඳහා තෝරාගත් අයවලුන් වෙනුවෙන් බඳවා ගැනීමේ ලිපි ප්‍රදානය අමාත්‍යවරයා ප්‍රමුඛ ආරාධිතයන් අතින් සිදුවූ අතර, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, උනායිස් ෆාරුක්, මන්නාරම දිස්ත්‍රික් ලේකම්, එම්.වයි.දේශප්‍රිය යන මහතුන්ද, කොරිනානු ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ හා ශ්‍රී ලංකා රෙදිපිළි හා ඇඟලුම් අභ්‍යාස පුහුණු ආයතනෙයේ නිලධාරීන්ද, පුහුණුවන්නන්, ප්‍රදේශවාසීන් ඇතුඵ විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
KOICA 04
KOICA 03
KOICA 05

Leave a Reply

Your email address will not be published. Required fields are marked *